Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවට ලකුණු 141ක ජයක් (UPDATE)

කසුන් කැලුම්




ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 251 ලබා ගත්තා. ඇන්ජලෝ මැතිව්ස් 111යි

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 4 ක් දැවී ලකුණු 392 ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම එක්දින ඉතිහාසයේ ලකුණු 300 සීමාව පසුකළ සියවන අවස්ථාව මෙය වනවා. එවැනි දස්කමක් පෑ ලොව පළමු කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි. 

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක් රැස් කළා.

උපුල් තරංග ලකුණු 4 කට දැවී ගිය අතර ධනුෂ්ක ගුණතිලක රැස්කළේ ලකුණු 16 ක් පමණයි. ලහිරු තිරිමාන්න ලකුණු 21 කට දවා ගැනීමට මංගල එක්දින වරම් දිනූ ඉන්දීය යොවුන් කී‍්‍රඩක වොෂින්ටන් සුන්දර් සමත් වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 22 කටත් අසේල ගුණරත්න ලකුණු 34 කටත් දැවී ගියා. නායක තිසර පෙරේරා රැස්කළේ ලකුණු 5 ක් පමණයි. 


මෙම තරගයේදී ඉන්දීය ඉනිම ඔසවා තැබූ නායක රෝහත් ශර්මා ද්විත්ව ශතකයක් වාර්තා කළා. ඔහු අද තරගයේදී වාර්තා පොත් අතරට එක්වුණේ එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක 3 ක් වාර්තා කළ ලොව පළමු කී‍්‍රඩකයා ලෙසයි. පන්දු 153කදී ඔහු නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 208 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 12 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් වුණා. රෝහිත් ශර්මා සිය ඉනිමේ අවසන් ලකුණු සියය වාර්තා කළේ පන්දු 36 කින්. මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක් වූ අතර නුවන් ප‍්‍රදීප් යැවූ පන්දුවාර දහයේදී ලකුණු 106 ක් රැස් කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා. ඒ අනුව එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් ශී‍්‍ර ලාංකික  පන්දු යවන්නා ලෙසයි නුවන් ප‍්‍රදීප් මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණේ. මීට පෙර මුත්තයියා මුරලිදරන්  ඕස්ටේ‍්‍රලියාව සමග පැවති එක්දින කි‍්‍රකට් තරගයකදී පන්දුවාර දහයක් තුළ ලකුණු 99 ක් ලබාදී තිබුණා. 
 

------------------------------------------------

ෂර්මා තෙවන ද්විත්ව ශතකය ලබද්දී නුවන් ප්‍රදීප්ද ඉතිහාස ගතවෙයි

13-12-2017 15:12

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 392ක් ලබා ගත්තා. එහිදී රෝහිත් ෂර්මා නොදැවී 208ක් ලබා ගත්තා. පන්දු 153දී 6 පහර 12ක් සහ 4 පහර 13න් ඔහු තම ඉණිම වර්ණවත් කළා. ෂර්මා තම එක්දින තරග දිවියේ ලබා ඇති ද්විත්ව ශතක ගණන තුනක් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ නුවන් ප්‍රදීප් එක්දින තරගයකදී වැඩිම ලකුණු ලබාදුන් ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වූ අතර ඔහු පන්දුවාර 10 දී ලකුණු 106ක් ලබා දුන්නා. මීට පෙර වැඩිම ලකුණු ලබාදුන් පන්දු යවන්නා බවට පත්ව සිටියේ මුත්තයියා මුරලිදරන්ය.

---------------------------------------------------------------------

අද තරගයට සියල්ල සූදානම් - දික්වැල්ලට ලකුණු 47ක් ඕන වෙයි

13-12-2017 06:39

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ 2වන තරගය අද (13) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගය ජයගත්තේ ශ‍්‍රී ලංකාවයි.

ඒ අනුව අද පැවැත්වෙන තරගය ද ජය ගතහොත් මෙම තරගාවලියේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට හිමි වනවා.

ශ‍්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී තරගාවලියක් අවසන් වරට ජයගෙන ඇත්තේ 1997 වසරේදියි. ඒ අනුව, මෙම තරගාවලිය ජයගතහොත් ඔවුන් ඉන්දියවේදී තරගාවලියක් ජය ගන්නේ වසර 20කට පසුවයි.

මේ අතර, එක්දින ක‍්‍රිකට් පිටියේ ලකුණු 1000ක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව නිරෝෂන් දික්වැල්ලට අද උදා වී තිබෙනවා.

ඔහු මේ වනවිට එක්දින තරග 29කට සහභාගී වී ඇති අතර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 953ක්. 

ඒ අනුව, එක්දින ක‍්‍රිකට් පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ඔහුට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 47ක් පමණයි. 

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස චන්දිගාර්හි පන්ජාබ් ක‍්‍රිකට් සම්මේලන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.