Saturday, April 20, 2024

General line - 0115112241

බැසිල්ගේ ලිත් නඩුවේ අතුරු තහනම දීර්ඝ කරයි

අධිකරණ වාර්තාකරු




හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති 'ලිත්' නඩුව කොළඹ මහාධිකරනයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 02 දා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය විසිනුයි නිකුත් කළේ.

එහිදී නීතිපතිවරයා විසින් මෙම අතුරු තහනම් නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කරන බව අධිකරණයට දන්වා සිටියා.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරනයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරනයේ වෙනත් උසාවියකට මාරු කරන ලෙසට ඉල්ලා බැසිල් රාජපක්ෂ අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා.

පසුගිය ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංචා ලෙස සාවද්‍ය පරිහරනය කිරීමේ චොදනාවලට වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහි නඩුව විභාගයට ගෙන තීන්දුව ලබා දුන්නේද විනිසුරු ගිහාන් කුලතුංගයි.

විනිසුරු ගිහාන් කුලතුංග තමාට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විනිසුරුවරයෙකු ලෙසට කටයුතු කර ඇති බැවින් ඔහු ඉදිරියේ පවතින නඩුවකින් සාධාරණයක් ඉෂ්ට වේයැයි අපේක්ෂා කළ නොහැකි බව බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා.