Friday, March 29, 2024

General line - 0115112241

රන්ජන්ට එරෙහි පෙත්සම යළි කැඳවන්න නියෝගයක් - අපහාස කළ බව කියන වීඩියෝ දර්ශන ගැනත් කරුණු කියයි




අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත්කර ඇති පැමිණිල්ල ජනවාරි මස 22දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියම කළා.

මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ රන්ජන් රාමනායකගේ අපහාසාත්මක ප්‍රකාශ අඩංගු යැයි කියන සම්පුර්ණ කතාව ඇතුලත් වීඩියෝ පටයක් අධිකරණය වෙත කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණත් එම සීඩී පටය මෙතෙක් ලැබී නොමැති බවයි.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ සීඩී පටය ජනවාරි මස 15 වැනිදාට පෙර ඉදිරපත් කරන ලෙස සිහි කැඳවීමක් යොමු කළා.

එම වීඩියෝ පටය පරික්ෂා කිරීමෙන් පසුව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව දැක්වෙන මූලික විරෝධතා පිළිබඳව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි වගඋත්තරකාර රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණයට දන්වා සිටියේ.