Friday, March 29, 2024

General line - 0115112241

අරාබියේ රැකියාවට ගොස් ගොඩනැගිල්ලකින් වැටී මියගිය මවගේ දේහයවත් ගෙනවිත් දෙන්නැයි දරුවන් ඉල්ලයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් හදිසි අනතුරකින් මියගිය බව කියන සිය මවගේ දේහය කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඇගේ දරුවන් බලධාරීන් ඉල්ලීමක් කරනවා. 2011 වසරේදී මෙලෙස සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් තිබුණේ නෙල්කා දීපානි නමැති කැකිරාව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය 2013 වසරේදී යළි මෙරටට පැමිණීමට නියමිතව සිටියත් සේවය කළ නිවෙස් හිමියන් වැටුප් ලබානොදී සිර කරගෙන සේවය ලබාගෙන ඇති බවයි ඇගේ දරුවන් පවසන්නේ.

මීට වසර 3කට පමණ පෙර තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය ඉකුත් ඔක්තෝබර් මාසයේ මියගිය බවද ඇගේ දරුවන් පවසනවා.  2014 වසරේ මාස ගණනාවක් යන තෙක්ම සිය මව ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට නොහැකි වූ බවයි ඇගේ දියණිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

වසර 6කින් දැක නැති සිය මවගේ  දේහය හෝ කඩිනමින් දිවයිනට රැගෙන එ්මට අවශ්‍ය කටයුතු සලසන ලෙයසි ඇගේ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් විදේශ සේවා නියුක්තු කාර්යංශයේ අධ්‍යක්‍ෂ උපුල් දේශප‍්‍රියගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ මේ පිළිබඳ සියලූ දත්තයන් තමන්ට ලබාදුනහොත් ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කළ හැකි බවයි. ඒ අනුව නෙත් නිවුස් එම සියලූ තොරතුරු විදේශ සේවා නියුක්තු කාර්යංශය වෙත ලබාදීමට කටයුතු කළා.