Thursday, April 18, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ඉල්ලීම ජනවාරි දක්වා දීර්ඝ කෙරේ

අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය යළි ජනවාරි 25 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(15) තීරණය කළා.

මීට පෙර එය අද (15) දක්වා යළි දීර්ඝ කෙරුණා.


ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද (15) යළි කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී මෙම තීරණය ලබා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

එම අතුරු තහනම නියේගය දීර්ඝ නොකරන ලෙසයි මෙහිදී නීතිපතිවරයා ඉල්ලා ඇත්තේ.

එය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම නියෝගය ජනවාරි මස 25 දක්වා යළි  දීර්ඝ කළා.

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 3 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරනවා.

එම පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට හා පොලිස්පතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එය ඊට පසුදින සලකා බැලූණු අතර ඒ අනුව අද (15) දක්වා බලපැවැත්වෙන පරිදි පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුලූ පස්දෙනෙකු නම් කර තිබූ අතර, පෙත්සම මගින් ඔහු ඉල්ලා තිබුණේ තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ යටි අරමුණ සහිතව දේශපාලනාධිකාරිය විසින් මෙම පරීක්ෂණ පවත්වාගෙන යන බවයි.

එමෙන්ම පෙත්සම අද (15) කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව සිය මූලික විරෝධතා ද ගොනු කළ බවයි වාර්තා වුණේ.

.