Wednesday, April 24, 2024

General line - 0115112241

නාම යෝජනා ප්‍රතික්ෂේප වුණ හැටි මැතිවරණ කොමිසම පහදයි

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා 06ක් ප‍්‍රතික්ෂේප කර ඇතත් වැරදි පැවති එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා එලෙස ප‍්‍රතික්ෂේප කර නොමැති බව ඊයේ දිනයේ ද ස්ථාන කිහිපයකදී ප‍්‍රකාශ කෙරුණා. 

මැතිවරණයක් සඳහා ඉදිරිපත් කෙරෙන නාමයෝජනා පිළිගන්නේ හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ අදාළ පනතේ සඳහන් විධි විධාන අනුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඔවුන් ඒ බව පැවසුවේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා පිළිගෙන හෝ ප‍්‍රතික්ෂේප කර ඇත්තේ දේශපාලන අරමුණකින්දැයි සැක සිතෙන බවට ඇතැම් අය කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

මැතිවරණ කොමිසම පෙන්වා දුන්නේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වන ආකාර 02ක් අදාළ පනතේ දක්වා ඇති බවයි. 28 සහ 31 යන වගන්තිවලින් ඒවා විස්තර කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඊට අනුව කිසියම් අපේක්ෂකයෙකු නාමයෝජනා පත‍්‍රයේ අත්සන් කර නොමැති නම් හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දිවුරුම ප‍්‍රකාශ කර නොමැති නම් එවැනි අවස්ථාවලදී එම අපේක්ෂකයාගේ පමණක් අපේක්ෂකත්වය ප‍්‍රතික්ෂේප කෙරෙනු ඇති.

කෙසේ වෙතත් නාමයෝජනා පත‍්‍රයේ පක්ෂ ලේකම්වරයා අත්සන් කර නොකිරීම, ලේකම්වරයාගේ අත්සන බලයලත් නිලධාරියෙකු විසින් සහතික කර නොතිබීම සහ අවම කාන්තා නියෝජනය සම්පූර්ණ කර නොතිබීම යන කරුණු මත කිසියම් නාමයෝජනාවක් සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කළ හැකියි.

අපේක්ෂකයින්ගේ ස්ත‍්‍රී පුරුෂභාවය දැක්වීමට නාමයෝජනා පත‍්‍රයෙහි වෙනම තීරුවක් වෙන් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ස්ත‍්‍රී පුරුෂභාවය එහි දක්වා නොමැති අවස්ථාවක අපේක්ෂකයාගේ නම අනුව ස්ත‍්‍රී පුරුෂභාවය තීරණය කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂම කියා සිටියේ. ස්ත‍්‍රීන්ට සහ පුරුෂයින්ට පොදුවේ යෙදෙන නම් ද ව්‍යවහාරයේ තිබෙන බව මෙහිදී සිහිපත් කෙරුණා.