Thursday, April 25, 2024

General line - 0115112241

පන්දුවාරත් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට අත්වූ අමිහිරි ඉරණම (PHOTOS) (UPDATE)




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20 යි 20 තරගයෙන් ලකුණු 93 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව ඊයේ (20) සමත්වුනා. 

කතක් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් රැස් කළා. 

ලෝකේෂ් රාහුල් 61 යි. ශෙයාස් අයියර් ලකුණු 24 ක් ලබාගත්තා. මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 39 ක් සහ මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 32 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 87 ක් පමණයි.

උපුල් තරංග ලකුණු 23 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 19 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන 20 යි 20 තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

-----------------------------------------

ශ්‍රී ලංකාවට ලකුණු 181ක ඉලක්කයක්  (UPDATE)

(20-12-2017 20:46)

(කසුන් කැලුම් )

 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 03කට ලකුණු 180ක් ලබා ගත්තා.

------------------------------------------------

කාසියේ වාසිය ශ්‍රීලංකාවට

20-12-2017 18:34

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා ඛන්ඩායමට හිමි වුණා. පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටයි ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ.

---------------------------------------------------

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද  ඓතිහාසික දවසක් 

20-12-2017 07:05

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද (20) තවත් ඓතිහාසික දවසක්.

ඒ, ශ‍්‍රී ලංකාව තමන් සහභාගී වන සියවන පන්දුවාර 20 තරගයට අද සහභාගී වීම හේතුවෙන්. මේ දක්වා පන්දුවාර 20 තරග 100ක් ක‍්‍රීඩා කර ඇත්තේ නවසීලන්තය, පකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව පමණයි. 

මෙම ඓතිහාසික තරගයේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිවාදියා වන්නේ ඉන්දියාවයි. 

ශ‍්‍රී ලංකා සහ ඉන්දියා පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියට තරග 03ක් ඇතුළත්. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 11න් 07ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. ශ‍්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 04ක්. 

ශ‍්‍රී ලංකාව මෙම තරගයට පෙර සහභාගී වූ පන්දුවාර 20 තරග 05ම පරාජයට පත්වී තිබෙනවා. මෙම වසර තුළ ශ‍්‍රී ලංකාව සහභාගී වූ තරග 12කදී පරාජයට පත් වී ඇති තරග සංඛ්‍යාව 07ක්.

කෙසේ වෙතත් මෙම වසර තුළ ඉන්දියාව සිය රටේදී කිසිදු තරගාවලියක් පරාජයට පත් නොවීම ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයක් වනු ඇති. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.