Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රීඩිකාවට ලැබුණ සල්ලිවලින් ලොක්කෝ පිනුම් ගහලා ලු

කසුන් කැලුම්




මූල්‍ය අක‍්‍රමිකතාවක් පිළිබඳ පරීක්ෂණයක් සඳහා ජිම්නාස්ටික් සම්මේලනයේ හිටපු ලේකම් උදාර එස්. ලියන්විලට සහ හිටපු භාණ්ඩාගාරික කපිල ජීවන්තට පෙනී සිටින ලෙසට කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන්වුවද ඔවුන් ඊට සහභාගි වී නොමැති බව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා.

2012 වර්ෂයේ ඔවුන්ගේ පාලන සමයේදී රිද්මා සමනලී කී‍්‍රඩිකාවට ලෝක ජිම්නාස්ටික් සම්මේලනය විසින් ලබාදුන් හය ලක්ෂ පනස් දහසක මුදලින් කොටසක් අයථා ලෙස ලබා ගෙන ඇති බවට ඔවුන්ට එරෙහිව පවතින චෝදනා වනවා.

එම මුදල ජාතික සංගමයට ලැබීමෙන් පසු ජාතික ශූරිය වන රිද්මා සමනලීට රුපියල් එක්ලක්ෂ හැටදහසක් ලබාදී පසුව රුපියල් විසිපන්දහස බැගින් මාස 5ක් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් මොවුන් දෙදෙනා ඇයට ලබා දී තිබෙනවා. 

ලෝක ජිම්නාස්ටික් සම්මේලනයෙන් ලැබුණු රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලින් රුපියල් දෙලක්ෂ අසූපන්දහසක මුදලක් අදාළ කී‍්‍රඩාවට ලබා දුන්නද, ඉතිරි මුදලට කුමක් සිදුවූවේද යන්න ප‍්‍රශ්නාර්ථයක් වූ බැවින් එ් පිළිබදව පරීක්ෂණ කිරීමටයි කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.

එම කාලසීමාවේදී ජාතික තරගාවලියක් නොපැවති හෙයින් එම මුදල් වැය කිරීමටද අවස්ථාවක් නොවූ නිසා මෙම ඉතිරි මුදල ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා විසින් සිය පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදා ගත්තේද යන්න සැකයක්ද පවතිනවා.

2012, 2013 සහ 2014 වසරවල ජිම්නාස්ටික් සම්මේලනයේ අයවැය වාර්තා ඉදිරිපත් කිරීමටද මොවුන් කි‍්‍රයා නොකළේ මෙම කරුණ නිසා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ  (19) පරීක්ෂණ සඳහා නොපැමිණි  ජිම්නාස්ටික් සම්මේලනයේ හිටපු ලේකම් උදාර එස්. ලියන්විලට සහ හිටපු භාණ්ඩාගාරික කපිල ජීවන්තට යළි ලබන 21 වැනිදා කී‍්‍රඩා අමාත්‍යංශයට පැමිණෙන ලෙසද දන්වා තිබෙනවා.

කපිල ජීවන්ත එහිදී කී‍්‍රඩා අමාත්‍යංශයට දන්වා ඇත්තේ තමන් ඊයේ (19) දිනයේදී පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි බවත් එ් සඳහා යළි පැමිණෙන දිනයක් තමන්ට කීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් ඔහුට හෙට (21) අදාළ පරීක්ෂණයට පෙනී සිටින ලෙසයි කී‍්‍රඩා අමාත්‍යංශය යළි දන්වා ඇත්තේ. හිටපු ලේකම් උදාර එස් ලියන්විල පවසා ඇත්තේ තමන්ට මෙම පරික්ෂණයට පැමිණෙන ලෙස දැන් වූ කිසිඳු ලිපියක් තමන්ට නොලැබුණු බවයි.

වසර කිහිපයක් ජාතික ජිම්නාස්ටික් ශූරිය වූ රිද්මා සමනලී ජිම්නාස්ටින් කී‍්‍රඩාවේ නියැලෙන්නේ අගහිගකම් රැසක් මධ්‍යයේයි.

එවැනි කී‍්‍රඩාවක් දිරි ගැන්වීමට ලෝක ජිම්නාස්ටික් සම්මේලනය විසින් ලබාදෙන මුදල් ආධාර ජිම්නාස්ටික් සංගමයේ පාලකයන් විසිනි ඩැහැ ගැනීමට වෙර දරන්නේ නම්, එ් පිලිබඳ දැඩි පියවර ගැනීම කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රමුඛ කි‍්‍රඩා බලධාරීන් සතු වගකීමක් බව නෙත් ස්පෝට්ස්මන් සිහි කැඳවනවා.