Friday, April 19, 2024

General line - 0115112241

සාම්පුර් දාගැබ ඩෝසර් කළ "සම්බුදු සරණයි ලොරිය සහ ඩෝසරය" හසුවෙයි! ක්‍රියාකරු සහ ලොරි රියදුරු රිය අනතුරුවලින් රෝහලේ

අමදෝරු අමරජීව




සාම්පුර් සූඩ කුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණයේදි සොයාගත් දාගැබ ඩෝසර් කිරිමට යොදාගත් ඩෝසරය හා එය සැගවීමට එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය  සොයා ගැනිමට  පොලිසය සමත්වුණා.

දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26දා හලාවත ප්‍රදේශයේදි රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරිමෙන් පසු ඔහුගේ තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර  යවා ඇති අතර ඩෝසර් යන්ත්‍රය සැගවිමට එය පටවාගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතුර් තෝපුර් ප්‍රදේශයේදි යතුරුපැදියෙන් ඇදවැටි මුතුර් රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මුතුර් සහාකර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරික්ෂණ පවත්වා ලබා ගත් අධිකරණ නියෝග හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය  හා ලොරිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඩෝසරය සේරුනුවර  පොලිස් වසමට අයත්  රිච්චලම්පත්තු ප්‍රදේශයේ සගවා තිබියදි අත් අඩංගුවට ගත් අතර ලොරිය තෝපුර් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරියේ ඉදිරිපස ඉහල සම්බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර තිබිමද විශේෂත්වයක්.

ලොරිය හා ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් වන අතර අයිතිකරු දන් කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තොරතුරු වසන්කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ  ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර්  ක්‍රියාකරුද අත්අඩංගුවට ගනු ඇති.

මෙම ඓතිහාසික භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණය කිරීමට අදාළ පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවා.