Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පනවා තිබූ බැඩ්මින්ටන් තහනම ඉවත් කෙරේ




ලෝක බැඞ්මින්ටන් සම්මේලනය, ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා සිට ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට මෙම තහනම පනවා තිබුණා.

මෙම තහනම ඉවත් කරගැනීමට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු කී‍්‍රඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා ඩුබායි නුවරදී ලෝක බැඞ්මින්ටන් සංගමයේ සභාපති පෝල් එරික් ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි මෙම තහනම ඉවත් කර ගැනීමට හැකි වී ඇත්තේ. 

මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඞ්මින්ටන් සංගමය විසින් එවන ලද ලිපියේ, නිලවරණය පැවැත්වෙන තුරු අතුරු කමිටුවක් පත්කරන ලෙස දන්වා තිබෙනවා.

අතුරු කමිටු සඳහා නිශාන්ත ජයසිංහ, ක්ලැරන්ස් හෝමර්, මංගල ගමගේ, රොහාන් ද සිල්වා සහ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නම් කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසයි යෝජනා කර ඇත්තේ.

ලෝක බැඞ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගවලට යළි සහභාගි වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ක‍්‍රීඩා නීතියට පටහැනිව, සහතික කරන ලද විගණන වාර්තා ලබා නොදී ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වා තිබුණා. එය මෙරට ක‍්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් බැඞ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගත්තා. පසුව බැඞ්මින්ටන් සංගමයේ පරිපාලන කටයුතු පැවරුණේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතටයි.

ඩුබායි නුවර පැවැති සාකච්ඡාවේදී මෙරට ක‍්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක‍්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.