Thursday, April 25, 2024

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අයට ගතයුතු නීතිමය පියවර දන්වන්න! අගමැති 2016දී නීතිපතිට දන්වලා




බැදුම්කර ගනුදෙනුවට වගකිව යුතු නිලධාරීන් හා ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 2016 දෙසැම්බර් මාසයේදී නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ කොමිසම සඳහන් කළ පරිදි 2008 වසරේ සිට සිදු වූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කොට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප‍්‍රාය බවයි.

යහපාලන ජාතික ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම කි‍්‍රයාමාර්ග ඔස්සේ යලිත් තහවුරු වී තිබෙනවා. බැඳුම්කර නිකතුව පිළිබඳව ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. මාස දහයක් මුළුල්ලේ එම විමර්ශන කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට අග‍්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.  සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව  විසින් බැඳුම්කර නිකුතුව පිළිබඳව සිදු කළ පරීක්ෂණ වාර්තාව 2016 වර්ෂයේ ඔක්තෝබර් 31 වැනිදා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ඉකුත් ආණ්ඩු සමයේ කි‍්‍රයාත්මක වූ ද්වේෂ සහගත අසත්‍ය අවලාද හා මඩ ගැසීමේ සම්ප‍්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව කි‍්‍රයාත්මක වීමට අවකාශ සැලසීම අභිලාෂය බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.