Tuesday, April 16, 2024

General line - 0115112241

උතුරේ බලය තවත් වසරකටයි..වැඩ කරමු ආණ්ඩුකාර කියද්දී නව වසරයි ආණ්ඩුවයි සසඳන ප්‍රධාන අමාත්‍යවරයා




උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට ඇත්තේ තවත් වසරකට අඩු කාලයක් බවත් එම කාල සීමාවේ දී සියලු දෙනා මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.

මධ්‍යම රජය හා පළාත් සභාව අතර පවතින සහයෝගිතාවය රටේ සංවර්ධනයට පිටිවහලක් කරගත යුතු බවයි ඔහු එහිදි පෙන්වා දුන්නේ.

2018 වසරේ උතුරු පළාත් සභා කටයුතු අද (08) ආරම්භ කරමින් මෙම අදහස් පල වුණා.

මහජනතාවට යහපතක් සලසන්නට නම් එම සහයෝගිතාවය සැමදා රඳා පැවතිය යුතුය බවත් තමන් ඕනෑම මෙහොතක පළාත් සභාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බවත් කියා සිටියා.

පළාත් සභාවල සියලුම මන්ත්‍රිවරුන්ට සියලුම අමාත්‍යවරුන්ට තම ප්‍රදේශයේ ජනතාවට සේවයක් කිරීමට තමා පූර්ණ සහාය ලබා දෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මෙහිදී පැවසුවා.

නව වසරේ සිතේ නව සිතුවිලි ඇති කරමින් අප මුහුණ දෙන සියලුම ගැටළු වලට විසුම් සෙවිය යුතුව ඇති අතර නව සිතුවිලි සිතේ ඇති කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වන බව ඔහු සඳහන් කළා.

අපේ රටේ අපේ දේශයේ පවතින ගැටළු වලට විසුම් සෙවීමේදී පරණ සිද්ධාන්ත වලට පිටින් කටයුතු කළ යුතුව ඇති අතර අපේ සිතුවිලි සියල්ල නව මාවතක ගමන් කළ යුතු වනවා.

අප එක්සත්භාවය සාමය පිළිබ කතා කළ ද  එය ප්‍රදර්ශනය කිරිමක් පමණක් බවත් එය කිසිවක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එම අවස්ථාවට එක් වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේ නව වසර හා නව ආණ්ඩුව අතර විශාල බැඳීමක් දක්නට ලැබෙන බවයි. එනම් වසරක ආරම්භය හොදින් පවතින බවත් කාලය ගතවෙන්න වෙන්න විවිධ ගැටළු මතුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ ආකාරයට ආණ්ඩුවක් පත්වන අවස්ථාවේ හොඳ ආරම්භයක් සනිටුහන් කළද කල්ගත වන විට විවිධ ගැටළු වලට මුහුණපෑමට සිදුවන බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.

ඡායාරූප - මාධව කුලසූරිය