Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක් - මන්ත්‍රිවරුන්ට එළව එළවා පහරදෙයි (VIDEO) (UPDATE)

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රිවරුන් අතර මෙලෙස ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

ආණ්ඩුවේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර මෙම ගුටි ඇන ගැනීම සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරියන් දෙදෙනෙකුත් ගුටි බැට හුවමාරුවට මැදි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහිණී කවිරත්න සහ තුසිතා විජයමාන්න එම මන්ත්‍රිවරියන් දෙදෙනායි.

මන්ත්‍රීවරුන්ට එලව එලවා පහරදී ඇති අතර "කවුද හොරා - රනිල් හොරා...." ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පාඨ කියද්දී  "කවුද හොරා මහින්ද හොරා" ලෙස ආණ්ඩු පක්ෂයෙන් විරෝධතා පාඨ කියා සිටියා.

මේ අතර විරෝධතා සහ ගැටුම් හේතුවෙන්  ජනවාරි මස 23 වැනිදා සවස 1.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළා.

(වීඩියෝවක් පහතින් දැක්වෙයි)

------------------------------

 

පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රිවරුන් විරෝධතාවයක් දක්වන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තැබීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කතා කරමින් සිටියදී මන්ත්‍රිවරුන් පිරිසක් ඊට බාධා කර තිබෙනවා. පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක්ද ඊට මැදිහත් වී ඇති බවයි වාර්තා වුණේ.

----------------------------------

බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් දැනුම් දීමක් - කතානායක පාර්ලිමේන්තුවට දන්වයි (UPDATE)

(10-01-2018 11:00)

 

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කළ දැනුම්දීමක් කතානායකවරයා විසින් අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැසවු අවස්ථාවේදී  දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ බැඳුම්කර වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබාදෙන බවටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

එම දැනුම්දීම කතානායකවරයා විසින් පාර්ලිමේන්තු සභාවට ප්‍රකාශ කර තිබෙනවා.

----------------------------------

මැතිඇමතිවරුන් බලා සිටින වාර්තාව අද පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි

(10-01-2018 05:49)

(හේමන්ත කහවලගේ)

පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් අද (10) පැවැත්වෙනවා. ඒ, ඉකුත්දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළවයි අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවීම සිදු වන්නේ. 

පිටු 1400කින් සමන්විත බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉකුත්දා ජනාධිපතිවරයාට භාරදුන්නා. එම වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ඊයේ රැස්වූ පක්ෂ නායකයින් තීරණය කළා.

ඒ අනුව අද දිනයේ එම වාර්තාව සභාගත කරනු ඇතැයි පක්ෂ නායකයින් මෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද විශ්වාසය පළ කරනවා.  

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එලෙස ඉදිරිපත් කිරීමට සිදු වන්නේ බැඳුම්කර වාර්තාවේ ඉංග‍්‍රිසී පිටපතක්. එම පිටපත ප‍්‍රමාණවත් බවට මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට හැකියාවක් පවතිනවා.

අදාළ පිටපතේ සිංහල සහ දෙමළ පරිවර්තනයක් අවශ්‍ය නම් මන්ත‍්‍රීවරුන් විසින් ඒ සඳහා ඉල්ලීමක් කිරීම සිදු කළ යුතුයි. මෙය කොමිසන් සභා වාර්තාවක් බැවින් එය නීති කෙටුම්පතක් බවට පත්වනවා නම් පමණක් එහි සිංහල සහ දෙමළ පරිවර්තනයක් සිදු කළ හැකි වනවා. 

මෙම කොමිසන් සභා වාර්තා පදනම් කර ගනිමින් ඉකුත්දා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කළා. එම ප‍්‍රකාශය සිදු කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලය විසින් බැඳුම්කර වාර්තාව පදනම් කර ගනිමින් සකස් කළ නිල නොවන සාරාංශයක් පාදක කර ගනිමින්. 

බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයා අතට පත්කිරීමෙන් පසු එහි පිටපත් ඉල්ලා පාර්ශ්ව කිහිපයක් ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා. එහෙත් එය ජනගත කළ හැක්කේ එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුවයි. වාර්තාව ජනගත කරන දිනය හා එහි ක‍්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් අනතුරුව බැඳුම්කර වාර්තාව ජනතාව අතට පත්වනු ඇති. 

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාවට අමතරව ඉකුත්දා ජනාධිපතිවරයාට භාරදුන් බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ වාර්තා ද අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසටයි පක්ෂ නායකයින් ඉල්ලා ඇත්තේ. එම වාර්තා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ඇතැයි තමන් අපේක්ෂාවෙන් පසුවන බව දේශපාලන පක්ෂ නියෝජිතයින් නෙත් නිවුස් වෙත කියා සිටියා.