Saturday, April 20, 2024

General line - 0115112241

තැනක "අත" ලකුණින් තවත් තැනක "බුලත් කොලයෙන්" තරග වදින රහස මෙන්න

චම්ලි ඒකනායක




මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ වන අත ලකුණින් සහ ඇතැම් දිස්ත්‍රික්ක සඳහා හ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ගොඩ නගා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණ වන බුලත් කොලය යටතේ තරග වදිනු දක්නට ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් පාර්ශව කියා සිටින්නේ අත ලකුණින් තරගවදිනු ලබන්නේ සන්ධානගතව සිටින අනෙක් පක්ෂවල සියළුම දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සම්බන්ධවී ඇති ප්‍රදේශයන්හි එලෙස අත ලකුණින්ද, අනෙකුත් ප්‍රදේශයන්හි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේද තරග වදින බවය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්, කුරුණැගල දිස්ත්‍රික් නායක, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් www.nethnews.lk විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ බුලත් කොලය යටතේ තරග කරනවාද අත ලකුණ යටතේ තරග කරනවාද යන්න දිස්ත්‍රික් නායකයින්හට තීරණය කිරීමට පක්ෂය තීන්දු කළ බවය. ඒ අනුව ඇතැම් දිස්ත්‍රික් නායකයින් අත ලකුණ තෝරාගත් බවත් ඇතැමුන් බුලත් කොලය තෝරාගත් බවත්ය.

කෙසේ වෙතත් අත ලකුණ යටතේ අවසන් වරට මැතිවරණයකට ඉදිරිපත්ව ඇත්තේ 1991 වසරේදීය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට වසර 27කින් මෙපිට අත ලකුණට ඡන්දය දී නැති බැවින් බහුතර දිස්ත්‍රික් නායකයින් බුලත් කොලය තෝරාගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අත ලකුණින් තරග වදින දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් නොවන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පාර්ශවකාර පක්ෂයන්හි සාමාජිකයින්ද අත ලකුණ යටතේ තරග වදින බවය.