Thursday, March 28, 2024

General line - 0115112241

"ජනාධිපතිගේ නිල කාලය විමසීම" ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ගැබ්වී ඇති විශේෂ ලක්ෂණයක්!




වසර 6ක කාලයක් සිය ධුරය දැරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇත්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද මත විමසීම පිළිබඳ අර්ථ නිරූපණය මේ මස 14වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) දැනුම් දුන්නා. ඒ, ඊට අදාළ වාචික කරුණු  විභාගය අවසන් කරමින්. මෙම කරුණු විභාගය අද ආරම්භ කෙරුණේ  අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි. 

ජනාධිපතිවරයා යොමු කර ඇති මෙම මත විමසීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් 7දෙනෙකු පක්ෂව හා විපක්ෂව අද කරුණු ඉදිරිපත් කළා. ඔවුන්ගේ කරුණු දැක්වීම් ලිඛිතව හෙට දිනය වනවිට ලබාදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කළේ. 
මෙහිදී කරුණු දැක්වූ නීතිපති ජයන්ත ජයසූරිය පැවසුවේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලයට පත්වූයේ 2015 ජනවාරි 8වනදා පැවැති ජනාධිපතිවරණයෙන් බවයි. එහිදී මහජනතාව සිය සර්වබල ඡන්දබලය යොදා ගනිමින් වසර 6ක ජනාධිපති ධූර කාලයක් සඳහා මෛතී‍්‍රපාල සිරිසේන මහතා තෝරා පත්කර ගෙන ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නා. ඊට පසු 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැණුනු බවත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊට පෙර දිව්රුම් දී ඇති බැවින් ධූර කාලය වසර 5කට සීමා කිරීම ඊට බලනොපාන බවටත් නීතිපතිවරයා මෙහිදී කරුණු දැක්වුවා. 

අතරමැදි පාර්ශවයක් ලෙස පෙනී සිටි මහාචාරය තිස්ස විතාරණ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙහිදී කියා සිටියේ 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දා සිට මෛති‍්‍රපාල සිරිසේන මහතාද එම නීතියට යටත් වන බැවින් ඔහුගේ ධූර කාලය වසර 5කට සීමාවිය යුතු බවයි. 19වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත බලනොපාන්නේ නම් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද තුන්වන වරටත් ජනාධිපතිවරණයකදී තරග කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.  

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. 19වන සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත 2ක් පවතින බැවින් ඒ පිළිබඳ ඇතිවිය හැකි ව්‍යාකූලතා මගහරවා ගැනීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ඇති බවයි එහි දැක්වෙන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මීට පෙර ජනාධිපතිවරුන්ද සිය ධූර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා ඇති බවද එහි සඳහන්.

එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ්වී ඇති විශේෂ ලක්ෂණයක් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
 

-----------------------------------------

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

11-01-2018 16:22

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් අර්ථකතනය ජනවාරි 14 වනදාට පෙර ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසනවා.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5කට සීමා වනවා. ව්‍යවස්ථා ස්ංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 6ක් විය. ව්‍යවස්ථා සංශෝධනයට පෙර පත්වූ වත්මන් ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ඉල්ලා සිටිනේ ඒ බැවිනි.