Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් උත්සවය සමරයි (PHOTOS)

කසුන් කැලුම්




ලොව පුරා හින්දු බැතිමතුන් අද (14) තෛපොංගල් උත්සවය සමරනවා. සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් පැවැත්වෙන තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙසයි සැලකෙන්නේ.

ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුෂර්මා සඳහන් කරන්නේ රටට සෙත් පතමින් හින්දු බැතිමතුන්  තෛපොංගල් උත්සවය සමරන බවයි.

මේ අතර තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් ලෝකවාසී හින්දු ජනතාව වෙත සුභාශිංෂණ එක්කර තිබෙනවා.

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන් පුදන තෛපොංගල් උත්සවය ආහාර නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කරවීමට රජය ගන්නා උත්සහය අර්ථවත් කිරීමට ශක්තිය සපයන අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ගැමි ප‍්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වුවද අතීත සම්ප‍්‍රදායන් සුරැකීමටත් එය සැමරීමටත් තෛපොංගල් උත්සවය නිමිති සපයනවා.

මිනිසා තුළ පවතින සත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට තෛපොංගල් උත්සවය මග සාදන බවයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ. 

මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව බෙදාහදා ගැනීමට ඇති ලැදියාව වර්ධනයටද තෛපොංගල් උත්සවය මග පාදන බව ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

--------------------------------------

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සියලූ දහම්වල හරය කැටි කොටගත් සොබාදහමේ අගය සහ සමානාත්මතාවය කෙරෙහි ගරුත්වය දැක්වීමේ වටිනාකම තෛපොංගල් උත්සවයෙන් පෙන්වා දෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

හින්දු ජනතාව ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමග බෙදා හදාගනිමින් තෛපොංගල් උත්සවය සැමරීම සාමය සංහිඳියාව ගොඩනැගීමටද සුවිශේෂී අවකාශයක් උදාකර දී තිබෙනවා. වාර්ගික ආගමික භේද ඉක්ම වූ සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනගන්නට මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවායි යන්න අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංෂණ පණිවුඩයේ සඳහන්.

----------------------------------------

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජනවාරි මාසය උදාවීමත් සමග දමිළ ජනතාවගේ සිත් තුළ බොහෝ අපේක්ෂාවන් ජනිත වනවා. එම ජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂාවන් වන්නේ ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබා ගැනීම බවයි විපක්ෂ නායකවරයා සිය සුභාශිංෂණ පණිවුඩයෙන් පෙන්වා දී ඇත්තේ. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් විසඳුමක් සොයා ගැනීමේ උත්සහයක් පසුගිය වර්ෂයේදී ආරම්භ වුණා. සාකච්ඡාවට භාජනය කළ හැකි බොහෝ කරුණු ඊට ඇතුළත් කළ බව විපක්ෂනායක නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම වර්ෂයේදී හෝ ප‍්‍රමාද නොවී ඊට අවශ්‍ය කටයුතු සිදුකර තවදුරටත් යහපත් යෝජනා ඊට ඇතුළත් කර සියලූ ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂා වන ඔවුන්ගේ ආභ්‍යන්තර ස්වයං පාලන අයිතිය පිළිගන්නා දීර්ඝ කාලීන පැවැත්මක් ඇති පාලන ක‍්‍රමයක් අවශ්‍ය බවද එහි දැක්වෙනවා. එ් හරහා ජාතීන් අතර සංහිඳියාවත් සමගියත් ඇති කිරීමට අවස්ථාව උදා වේවායි යන්න විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  නිකුත් කළ සුභාශිංෂන පණිවුඩයේ සඳහන්.

------------------------------

මේ අතර නෙළාගත් අස්වැන්න යොදා ගනිමින් සූර්ය දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීම සිදු කෙරෙන තෛපොංගල් දිනය සැමරීම උතුරේ හින්දු බැතිමතුන් මහත් හරසරින් සිදු කරමින් සිටිනවා. 

නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු පැවසුවේ උතුරේ හින්දු ජනතාව තම නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිරිපස කිරි උතුරවා ආගමික වතාවත්වල නියැළෙමින් තෛපොංගල් දිනය සමරන බවයි. 

වව්නියාව ශාන්ත අන්තෝනි දේව් මැදුරේදී ද තෛපොංගල් සැමරීමක් සිදු කෙරුණා. 

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)

------------------------

වතුකරයේ ජනතාවද අද දිනයේ හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේ දී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කර තිබුණා.

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)