Saturday, April 20, 2024

General line - 0115112241

කොකේන් විනාශ කෙරෙන්නේ මෙහෙමයි - සියලු කටයුතු අවසන් වන විට අද මධ්‍යම රාත්‍රිය වෙයි

හේමන්ත කහවලගේ/ටී කේ ජී කපිල / බී.සී කුමාර




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිය භාරයට ගනු ලැබූ කොකේන් මත් කුඩු කිලෝ 928ක් අද (15) දියකර විනාශ කළා.

ඒ, ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩල පරිශ‍්‍රයේදීයි.

කාර්මික අපද්‍රව්‍ය කළමණාකරන කර්මාන්ත ශාලාවක් තුළදී මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදු කළා. එහිදී මුලින්ම සිදු කෙරුණේ මෙම කොකේන් මත් කුඩු කිලෝ 928 ට පරීක්ෂා කර බලා එය ද්‍රාවණයක් බවට පත් කිරීමයි. පසුව විශේෂ රථ යොදා ගනිමින් පුත්තලම පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාව වෙත මෙම ද්‍රාවණය රැගෙන ගියා. එහිදී සෙල්සියස් අංශක 2000ක උෂ්ණත්වයක් යටතේ විශේෂ සිමෙන්ති නිශ්පාදනය කෙරෙන උඳුන්වලට මෙම කොකේන් මත් කුඩු දමා ගිනි තබා විනාශ කිරීමටයි කටයුතු යොදා තිබුණේ. එම කටයුතු නිම වන විට අද මධ්‍යම රාත්‍රිය පමණ වෙනු ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ.‍

විනාශ කළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 1700කට ආසන්නයි.  2014 වසරේ ඔරුගොඩවත්තේ දී සීනි අඩංගු කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 80ක් සොයා ගැනීමේ සිද්ධියෙන් පසු මේ දක්වා සිදු කළ වැටලීම්වලින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැණුනා. බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වන සියලූ කන්ටේනර දැඩි පරීක්ෂාවකට ලක්කිරීම ආරම්භ වුණේ මෙම වැටලීමෙන් පසුවයි. 
ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයක් ප‍්‍රසිද්ධියේ විනාශ කරන මෙරට ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව මෙය බවයි පොලිසිය පැවසුවේ.