Thursday, April 25, 2024

General line - 0115112241

සුද්දෝ දෙන්නෙක් දීපු සුද්දය (PHOTOS)

ජූඩ් සමන්ත - හලාවත




මුදල් වංචාවක් හේතුවෙන් විදේශිකයින් දෙදෙනෙකු පිළිබදව විමර්ශන කටයුතු සිදු කරන බව මාරවිල පොලීසිය සඳහන් කරනවා.

මෙම සැකකාර විදේශිකයින් දෙදෙනා විසින් මාරවිල - කටුනේරිය ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 28,000 ක මුදලක් වංචා සහගත ලෙස සොරාගෙන ගොස් තිබෙනවා.

පසුගිය 14 වැනිදා සවස ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ ඇති විදේශිකයින් දෙදෙනා ගෙන් එක් අයෙකු එහි සේවකයෙකුගෙන් කිලෝ ග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල විමසා තිබුණා. ඒ අතර අනෙක් විදේශිකයාද එම සේවකයාගෙන් විවිධ ප්‍රශ්න අසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව මෙරට ඇති වැඩිම වටිනාකමක් සහිත මුදල් සම්බන්ධයෙන් විමසා සේවකයා අත තිබූ මුදල් දැක ගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

ඒ අතර එම විදේශිකයා ඉතාමත්ම සුක්ෂම ලෙස සේවකයා අත තිබූ රුපියල් 28,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

කිසිවක් නොවූ ලෙස ඉන්ධන පිරවුම්හලෙන් පිටවී ඇති විදේශිකයින් දෙදෙනා පිටත්ව යන ආකාරය එහි සවි කර ඇති ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා.

මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඔවුන් යතුරු පැදියකින් පලා ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.