Friday, March 29, 2024

General line - 0115112241

උඩුගුවනේ සිදුවූ දේ පැහැදිළි කරන අමාත්‍යවරයා.. අපේ නියමුවන්ට අත්දැකීම් බහුලයි - ලයිසන් ලැබුණේ කොහොමද?

වසන්ත පිවිතුරු




තවත් ස්වල්ප වේලාවක් තමන් උඩු ගුවනේ සිටියේ නම් විශාල අනතුරකට මුහුණ දීමට ඉඩ තිබු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

 

විශාල පරිශ්‍රමයකින් පසු  දිවි ගලවා ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

පසුගිය 14 දා ගුවන් යානයකින් යාපනයට පියාසර කළ අමාත්‍යවරයා ඇතුළු පිරිස දිවි ගලවා ගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

 

සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කරුණු පැහැදිළි කළා.

 

" යාපනයේ තෛපොංගල් වැඩසටහනට සහභාගීවීමට මම පෞද්ගලික ගුවන් යානයකින් ගියා. යන අතරවාරයේ ගුවන් නියමුවාට යාපනයේ පලාලි ගුවන් තොටුපලට පියාසර කරනු ලබන ගුවන් පථය සොයා ගැනීමට නොහැකි වුණා. සාමාන්‍යයෙන් යාපනයට යන වේලාව පහු වෙලා පැය කිහිපයක් ගත වුණා. එහීදී මම ඒ ගැන සොයලා බැලුවා. මට  දැන ගන්න ලැබුණේ ගුවන් නියමුවා පලාලියට පියාසර කරන ගුවන් පථය දන්නේ නෑ කියලා. ඒ වෙද්දීත් යානය යාපනය ගුවන් පථයෙන් ඉවත් වී තලෛ මන්නාරම දක්වා පියාසර කළා. අදාළ ගුවන් සමාගමේ ගුවන් මාර්ග පථයේ තලෛයි මන්නාරම සඳහන්ව තිබුණේ පලාලි කියලයි. කෙසේ වුනත් ඒ වෙලාවේ ගුවන් නියමුවත් අසරණ වෙලා. තත්ත්වට වටහා ගත් අපි කවුරුත් දැඩි පරිශ්‍රමයකින් පස්සේ පලාලියට ගියා. ඒ යන අතරවාරයේ යානයේ ඉන්ධනත් ඉවර වෙලා. කොහොම හරි පලාලිය දක්වා යන්න අපිට හැකියාව ලැබුණා. නමුත් තව විනාඩි කිහිපයක් ප්‍රමාද වුණා නම් අපිට වුණ දේ හොයා ගන්නත් බැරි වෙනවා."

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් චෝදනාව එල්ල වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි.

 

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයකින් මෙසේ යාපනයට අමාත්‍යවරයා පියාසර කළ බව පවසමින්.

 

මේ සම්බන්ධයෙන් www.nethnews.lk ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විමසීමක් කළ අතර එහිදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ අදාළ සිද්ධිය හා ගුවන් හමුදාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

 

කිසිඳු පදනමක් නොමැතිව අදාළ වාර්තාව පුවත්පතක පල වී ඇති බවත් ඔහු කියා සිටියා.

 

2018.01.14 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කිසිඳු ගුවන් යානාවක් උතුරට පියාසර නොකළ බව ඔහු පෙන්වා දුන්නා.

 

පෞද්ගලික ගුවන් යානයක් 14 වන දින පලාලිය බලා පියාසර කර ඇති බවට ගුවන් පාලක මැදිරි වාර්තා සඳහන් කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

 

එමෙන්ම ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් උතුරට පියාසර කිරිමේ බහුල හැකියාවෙන් පෝෂණය වූවන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

නමුන් ගුවන් නියමුවෙකු උතුරුට පියාසර කරන ගුවන් පථය නොදැන සිටිම මීටත් වඩා සිතිය යුතු කරුණක් බව ද ඔහු කියා සිටියා.

 

ශ්‍රී ලංකාවට පැමිණෙන විශාල රාජතාන්ත්‍රිකයන් ඇතුළු පිරිස උතුරට රැගෙන යන්නේ ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

 

කිසිඳු සොයා බැලීමකින් තොරව පුවත් පල කිරිම සාධාරණ නොවන බවත් ඉන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇති කීර්ති නාමය ගිලිහි යනු ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියා.

 

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් www.nethnews.lk ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරයෙන් විමසීමක් කළා.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් තමන් වෙත කඩිනමින් ලබාදෙන ලෙස තමා නියෝග කර ඇති බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බැවින් අදාළ ගුවන් නියමුවාගේ ගුවන් බලපත්‍රය තාවකාලීකව අත්හිටුවා ඇති බවද ඔහු කියා සිටියා.

එමෙන්ම එම ගුවන් නියමුවාගේ වැඩ තහනමට ලක්කර ඇති බවද සඳහන්.

 

රාජතන්ත්‍රිකයන් පමණක් නොව කිසිඳු සිවිල් වැසියෙකුගේ ජීවිත අනාරක්ෂිත අන්දමේ කටයුතු කිරිමේ හැකියාව ගුවන් නියමුවන් සතු නොවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දුන්නේ.

 

ගුවන් නියමුවා යානය පියාසර කරන අතරවාරයේ උතුරට පියාසර කරන ගුවන් පථය නොදන්නා බව පැවසීම පිළිගත නොහැකි කරුණක් බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටියා.

 

ගුවන් පථය නොදන්නා ගුවන් නියමුවෙකුට ගුවන් බලපත්‍රය හිමි වීම පිළිබඳව ද ගැටළු මතුව තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පරික්ෂවල දී අදාළ ගුවන් යානයේ නියමුවාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශවරයෙකු www.nethnews.lk වෙත කියා සිටියේ.

 

එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් යානය ධාවන පථයෙන් ඉවත්කර වෙනත් දිසාවකට පියාසර කළ බවයි ගුවන් නියමුවා පරික්ෂණවලදී පවසා තිබෙන්නේ.

සම්බන්ධිත පුවත