Wednesday, April 24, 2024

General line - 0115112241

රටම ලබා සිටි වාර්තාව පාර්ලිමේන්තු මහලේකම් අතට එයි (UPDATE)

හේමන්ත කහවලගේ




බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

 

----------------------------------

ගුටි කකා බලා සිටි වාර්තාව අද පාර්ලිමේන්තුවට එන හැටි (UPDATE)

(17-01-2018 06:20)

 

බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තා අද (17) පාර්ලිමේන්තුවට භාර දීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ පෙරවරු 9.30ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අදාළ වාර්තා භාර දෙන බවයි.

බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් සහ බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තාවේ පිටපත් 35ක් එලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාර දීමට නියමිත බවද ජනාධිපති ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව එම කොමිසමේ සාමාජිකයන් විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මස 30 වැනිදායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත‍්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වන වී. කන්දසාමි ඇතුළත්.

එම වාර්තාව පිටු 1,400කින් සමන්විතයි. මෙමගින් හෙළි කෙරුණු කරුණුවලට අනුව, ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 11,145ක් වන බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ. 

අසත්‍ය සාක්ෂි ලබා දිමේ චෝදනා මත හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට නඩු පවරන ලෙස ද එම වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ ඒ අනුවයි. එම ඉල්ලීම පිළිගනිමින් අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉකුත් 10 වැනිදා විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවා. 

කෙසේ වෙතත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහි කටයුතු නිමාවට පත් වුයේ ගුටි බැට හුවමාරුවකින්. 

 

---------------------------

හෙට මැති සබයට ඉදිරිපත් වන වාර්තා දෙක මෙන්න

(16-01-2018 21:41)

 

බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ජනාධිපති ලේකම් ඔස්ටින්  ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ හෙට (17) උදෑසන 9.30 ට අදාළ වාර්තා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත  භාර දෙන බවයි.