Saturday, April 20, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය අවසන්! (UPDATE)

කසුන් කැලුම් / නිශාන් ද සිල්වා




දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත‍්‍රාත් සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට එරෙහිව දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (23) මධ්‍යම රාති‍්‍රයේ ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසුවේ. මේ එහි ලේකම් ඉන්දික දොඩංගොඩ.

සිය වැඩවර්ජනය අවසන් කළද චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් තවදුරටත් ඉවත් වී සිටින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය වැඩිදුරටත් කියාසිටියා. අදාළ දුම්රියන්හි පවතින තිරිංග දෝෂවලට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නා බවයි ඔවුන් පැවසුවේ. 

-------------------------------------------------------

රියදුරු වර්ජනයෙන්  දුම්රිය රැසක් අවලංගුයි! (UPDATE)

24-01-2018 06:30

දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (23) මධ්‍යම රාති‍්‍රයේ සිට නැවත වරක් වෘත්තීය සමිති අරගලයකට එළඹ තිබෙනවා. ඒ අනුව දුම්රිය ධාවනය අද අඩාල වනු ඇති බවයි දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ. දුම්රිය ගමන්වාර රැසක් මේ හේතුවෙන් අවලංගු වී තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ මෙම වෘත්තීය සමිති අරගලය හේතුවෙන් දුම්රිය ධාවනයට සිදුව ඇති බාධා පිළිබද නෙත් නිවුස් දුම්රිය පාලක මැදිරියෙන්ද විමසිමක් කළා. ඔවුන් පැවසුවේ දැනටමත් දුම්රිය ගමන්වාර 4 ක් අවලංගු වී ඇති බවයි. අළුයම 5.45 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනයවීමට තිබූ දුම්රිය,  6.05 ට කොළඹ සිට මඩකලපුවට ධාවනයවීමට තිබූ දුම්රිය, කොළඹ කොටුවෙන් හලාවත බලා ධාවනයවීමට නියමිත මුතුකුමාරි දුම්රිය සහ මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත තිබූ දුම්රිය එලෙස අවලංගු වී තිබෙනවා.

-----------------------------------------------------

අද මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ගමන්වාර කිහිපයක් අඩාල වන ලකුණු

23-01-2018 20:30

අද මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ගමන්වාර කිහිපයක ධාවන කටයුතුවලින් ඉවත් වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.  
ඒ, කොන්ත‍්‍රාත් පදනම මත සේවය කරන දුම්රිය එන්ජින් රියදුරන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ තමන්ගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියා තමන් අපේක්ෂා කරන බවයි.