Saturday, April 20, 2024

General line - 0115112241

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන් (PHOTOS) (UPDATE)

කසුන් කැලුම්




තම ගැටළු වලට පිළිගත හැකි විසඳුමක් ලැබීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය ඇමතිවරයා මෙන්ම ජනාධිපතිවරයා පවා ගැටළු විසදීමට මැදිහත්වූ බවයි ඔවුන් පැවසුවේ.

ගැටළු 9ක් මුල් කර ගනිමින් වෛද්‍යවරුන් ආරම්භ කල වැඩවර්ජනයේ එක් ගැටළුවක් වූයේ සයිටම් ආයතනය පිළිබඳ ගැටළුවයි.

ඊට ලැබුනු විසඳුම කවරේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මාධ්‍ය හමුවේ මෙලෙස පැහැදිළි කළා.   

---------------------

රෝගීන් පීඩා විඳිද්දී දෙපාර්ශ්වය සාකච්ඡා අරඹයි (30-01-2018 11:12)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) උදෑසන සිට ආරම්භ කර ඇති සංඛේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ පැවැත්වුණා. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල්.කේ ගුණවර්ධන, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුලු නිලධාරී මණ්ඩලය සහ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියා.

 

--------------------------------------------

රට පුරා රෝගීන් පීඩාවට (PHOTOS) (UPDATE)

(30-01-2018 10:08)

 

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අද (30) උදෑසන 8.00 සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට රෝහල් රැසක කටයුතු බිඳවැටී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්වලට පැමිණ සිටින රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. 

ඒ බව දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙයි.

(පොළොන්නරුව මහ රෝහලේ තත්ත්වය..)

 

(දික්ඔය මූලික රෝහලේ තත්ත්වය)

(උතුරේ තත්ත්වය)

------------------------

වෙනත් මගක් නෑ -  රජයේ වෛද්‍යවරුන් වර්ජනය අරඹයි (UPDATE)

(30-01-2018 07:12)

 

පිළිකා සහ ළමා රෝහල් හැර රට පුරා සියළු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (30) වැඩවර්ජනයක නිරත වනවා.

උදෑසන 08.00ට ආරම්භ වන මෙම වැඩවර්ජනය නිසා ප‍්‍රතිකාර සේවා ද අඩාල විය හැකියි.

කෙසේ වෙතත් සිය ඉල්ලිම් දිනා ගැනීම සඳහා වෙනත් මගක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.

සිය වැඩවර්ජනයෙන් රජය අපහසුතාවයට පත් කිරීමටද අපේක්ෂා නොකරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.   

වෛද්‍යවරුන්ගේ පැමිණීමේ හා ප‍්‍රවාහන දීමනා යාවත්කාලින කිරීම, වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනා යාවත්කාලින කිරීම,  වාහන බලපත‍්‍ර ලබා දීම සම්බන්යෙන් පවතින ගැටළු විසඳාලීම මෙම වැඩවර්ජනයේදී ඉදිරිපත් කර ඇති ඉල්ලීම් කිිහිපයක්. සයිටම් ගැටළුවට ජනතාවාදී විසඳුමක් ලබා දීම තවත් ඉල්ලීමක් වනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබෙන වැඩවර්ජනයට තමන් ද එක්වන බවයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර වෛද්‍යවරුන් අද සිදු කරන වැඩවර්ජනයට සහාය දක්වන බව  රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයද පවසනවා. 
 

 

--------------------------------

රජයේ වෛද්‍යවරුන් දීපව්‍යාප්ත වර්ජනයකය සැරසෙයි

(29-01-2018 19:56)

රජයේ වෛද්‍යවරුන් හෙට (30) උදෑසන 08 සිට දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

සිය ඉල්ලිම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් මෙම වැඩවර්ජනය කැඳවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

කොළඹ දී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ කරුණු දැක්වූ එහි ලේකම් වෛද්‍ය හරිත් අළුත්ගේ මේ බව කියා සිටියා.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් තවමත් කී‍්‍රයාත්මක කර නොතිබීමද මෙම වැඩවර්ජනයට හේතුවක් ලෙස පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් පිළිකා රෝහල් සහ ළමා රෝහල් වල වැඩවර්ජනය සිදු නොකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.