Friday, March 29, 2024

General line - 0115112241

කුලියාපිටිය රෝහලෙන් ඉතිහාසයට ගිය සැත්කම (PHOTOS/VIDEO)

දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය




කුලියාපිටිය මූලික රෝහල් ඉතිහාසයේ ප‍්‍රථම වරට ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව සිදුකරන TRANSORAL LAPAROSCOPIC THYROIDECTOMY (ට‍්‍රාන්ස්ඔවරල් ලැපරස්කොපික් තයිරොඩෙක්ටමි) නැමැති සැත්කම අති සාර්ථකව ඊයේ(08) සිදුකළ බව කුලියාපිටිය මූලික රෝහල් උගුර කන නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් පවසනවා.    

කුලියාපිටිය උඩුබද්දාව ප‍්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක් එසේ ප‍්‍රථම සැත්කමට භාජනයවූ අතර සැත්කමෙන් අනතුරුව ඇය යහපත් සොෟඛ්‍ය තත්වයෙන් පසුවන බවද රෝහල් ආරංචිමාර්ග පවසනවා.    

කුලියාපිටිය මූලික රෝහල් ඉතිහාසයේ පමණක් නොව තම දැනුමේ තරමින් දිවයිනේ වෙනත් රෝහලක මෙම සැත්කම සිදුකර නොමැති අතර දකුණු ආසියාවේ ස්ථාන කිහිපයක පමණක් සිදුකර ඇති මෙම සැත්කම ඉන්දියාවේ පවා සිදුකර ඇතිතේ මීට මාස 10කට ඉහතදී බවට තොරතුරු ඇති බවත් එ් අනුව අදාළ සැත්කම දකුණු ආසියාවේ සිව්වැනි වරට සිදුකළ අවස්ථාව මෙය බවට ඉතිහාසගතවන බවත් වෛද්‍ය රිස්නි පැවසුවා.

සාමාන්‍යයෙන් සෑම අයෙකුම ගෙලෙහි කැපුම් යොදා සිදුකරන සැත්කම් වලින් හටගන්නා කැලැල් හේතුවෙන් ඇතිවන බාහිර පෙනුමේ අවලක්‍ෂණ ස්වභාවයට අකමැති බැවින් මෙම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව රෝගියා නිර්වින්දනයෙන් මිදුන පසු අවම වේදනාවකින් හා අවම රුධිර වහනයකින් සිදුකළ හැකි අතර ගෙල ප‍්‍රදේශයේ කැපුම් තුවාල කැලැල් ඇති නොවන බවයි.    

පුරා පැය 4කට ආසන්න කාලයකදී අති සාථක අති සාර්ථක අයුරින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ඉදිමුන කොටස ඉවත් කිරීමට හැකිවූ අතර වෛද්‍ය රිස්නි පවසන්නේ තාක්‍ෂණික දෝෂ බොහොමයක් නොතිබෙන්නට ඉතා සුලූ වේලාවකින් අදාල ශෛල්‍ය කර්මය සිදුකළ හැකි බවයි.    

කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අයි එස් යද්දෙහිගේ ඇතුලූ විශේෂඥ වෛද්‍ය කාර්යමණ්ඩලය, වෛද්‍ය කාර්යමණ්ඩලය, හෙද හා කණිෂ්ඨ කාර්යමණ්ඩලය මෙලෙස ලංකාවේ ප‍්‍රථම වරට කොළඹින් පිටතදී සිදුකරන සැත්කමක් වුවත් ඊට අවධානම නොගෙන තමන් පිළිබඳව විශ්වාසය තබා දැක්වූ සහය මෙම සැත්කම සාර්ථකව සිදුකිරීමට ශක්තියක් වූ බවද විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් පවසනවා.