Wednesday, April 24, 2024

General line - 0115112241

"එන්න කියන ඕනෑම අවස්ථාවක එන්න සූදානම් වෙන්න..අගමැතිකම කරූට..පක්ෂය සජිත්ට" - රටම උණුසුම් කරමින් සාකච්ඡාවල සිදුවන දේවල්

හේමන්ත කහවලගේ




අද (13) පස්වරු 03.00ට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම සාකච්ඡා සඳහා පැමිණීමට සූදානමින් සිටින්නැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට කල්තියා දැනුම් දීමක්ද කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා පළ වනවා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ ජනාධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ කර ඇත්නම් එය නිවරැදි බවයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය ධුරය භාර ගන්නැයි ජනාධිපතිරවයා කථානායක කරු ජයසූරිය මහතාට ආරාධනාවක් කර ඇතැයිද දේශපාලන ආරංචි පවසනවා. කෙසේ වෙතත් අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් විමසීමක් නොකර එවැන්නක් කළ නොහැකි බවයි කථානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

අග‍්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු නැතැයිද එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට ලබා දෙන ලෙසද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස තවත් යෝජනාවක් කර ඇතැයිද දේශපාලන ආරංචි කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදු කිරිමට නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇති බවද මේ පිළිබඳ අදහස් දක්වන ඇතැම් මාධ්‍ය වාර්තා දක්වා තිබෙනවා. එවැනි සංශෝධනයක් සිදු විය යුතු නම් එය සිදුවිය යුත්තේ පක්ෂයේ අභ්‍යන්තර තීන්දුවකට අනුව බවද අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇතැයි එම වාර්තාවල දැක්වෙනවා.