Thursday, April 25, 2024

General line - 0115112241

මහින්දගේ දෑත් ශක්තිමත් වෙලා - සම්බන්දන්

වසන්ත පිවිතුරු




පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ප්‍රමුඛ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් වී ඇති බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් පවසනවා.

රටේ ජනතාව විසින් යළි වරක් ඔහුට බලයක් ලබාදීමට සූදානම් බව මේ තුළින් පෙනි යන බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

එම නිසා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

පළාත් පාලන මැතිවරන ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මීට පෙර ද මෙරට දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන බව ජාත්‍යන්තරය වෙත පොරොන්දු වී ඇති බවයි විපක්ෂ නායකවරයා මතක් කර සිටියේ.

එම පොරොන්දුව හිටපු ජනාධිපතිවරයා ඉටු කළ යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායක ආර්. සම්බන්දන් කියා සිටියේ ඔහුගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බවයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව තමන් පිළිගන්නා බවත් මෙරට දෙමළ ජනතාවගේ ගැටළු ද සාර්ථකව විසඳා මුළු රටේ සමස්ත ජනතාවගේ සිත් දිනා ගැනීමට වග බලා ගන්නා ලෙසයි විපක්ෂ නායක ආර්. සම්බන්දන් ඔහුගෙන් ඉල්ලා ඇත්තේ.

කුමන පාර්ශ්වය සමග දෙමළ ජාතික සන්ධානය ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවල කිසිඳු වෙනසක් නොවනු ඇති බවයි.

එමෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ හෝ අවදානය යොමු කරන ඕනෑම පාර්ශ්වයක් සමග ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන බවයි විපක්ෂ නායක ආර්. සම්බන්දන් කියා සිටියා.