Friday, April 26, 2024

General line - 0115112241

අලුත් වැඩසටහන මෙතැන් සිට

හේමන්ත කහවලගේ




ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණ තිබෙනවා.

ඒ අනුව යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමට විශේෂිත කමිටුවක් අද (14) දිනයේ ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඒ, ඊයේ (13) රාති‍්‍රයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදීයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඒ පිළිබඳ කරුණු දැක්වූවා.

"ජනාධිපතිතුමාගේ පාර්ශ්වයත් අගමැතිතුමාගේ පාර්ශ්වයත් එකඟ වුණා විශේෂිත කමිටුවක් පත් කරලා කොහොමද යහපාලන රජය ඉදිරියට කරගෙන යන්නේ කියන එක පිළිබඳව ඉක්මන් නිගමනයක් රටට ඉදිරිපත් කරන්න. අනෙක් ආරංචි ගැන මම දන්නේ නෑ..මෙතන වෙච්ච දේ ගැන තමයි මම කිව්වේ. "

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා සමග ඊයේ දහවල් පැවැති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකගතාව පළ වූ බවයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින් බණ්ඩාර මෙවන් අදහසක් පළ කළා.

පසුපෙළ මන්තී‍්‍රවරුන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීම ඊයේ සවස 06.00ට පමණ පැවැත්වුණා. ඉන් අනතුරුවයි අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිරවයා හමුවීමට ජනාධිපති නිල නිවස වෙත පැමිණියේ.

මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීරණ මොනවාදැයි නෙත් නිවුස් පාරලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමිගෙන් විමසීමක් කළා. ඊට ඔහු දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්. 

එහිදී ඔහු සඳහන් කළේ "තනි ආණ්ඩුවක් අපි පිහිටුවමු..වහල්ලු විඳිහට අපිට වැඩ කරන්න බෑ..කියලා..තමයි අපේ සාකච්ඡාවේදි එකඟ වුණේ. නමුත් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මෙහි අවසන් තීරණය ගන්නයි තීරණය කළේ. ඒ අනුව තමයි මේ එකඟතාවලට පැමිණියේ. කොහොම වුණත් බහුතරය එජාප බලය එක්ක තමයි යන්නේ."