Tuesday, April 16, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු පොලිස් ලොක්කා දී තිබූ නියෝග මෙන්න (UPDATE)

හේමන්ත කහවලගේ




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්ත නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) රාති‍්‍රයේ අත්අඩංගුවට ගත්තා.

ඒ, එම ඝාතනය සිදුවන සමයේ ගල්කිස්ස ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පත්වරයා ලෙස කටයුතු කරමින් සිද්ධියට අදාළ කරුණු වසන් කිරිමේ චෝදනා යටතේයි.

මෙම පරීක්ෂණවලට අදාළව ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සිදුවූ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ තිබී සොයා ගත් සටහන් පොතක යතුරු පැදි දෙකක අංක සඳහන්ව තිබූ බවත් එය තමන් එවකට ගල්කිස්ස ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දුන් බවත් ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

එවකට ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ ප‍්‍රසන්න නානායක්කාර ඒ පිළිබඳ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර ඇති අතර ඔහු විසින් එවකට පොලිස්පතිවරයා වූ ජයන්ත වික‍්‍රමරත්නට දැනුම් දී තිබෙනවා.

පසුව ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබා දුන් නියෝගයක් අනුව ප‍්‍රසන්න නානායක්කාර අදාළ සටහන් පොත තමන්ගෙන් ඉල්ලා ගත් බවයි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් තමන් දමා තිබූ ලොග් සටහන් ඇතුළත් පිටු ඉවත් කරන ලෙසද එවකට ගල්කිස්ස ප‍්‍රදේශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න නානායක්කාර දැනුම් දුන් බවටද ඔහු ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.
 

-----------------------------------

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ලොකු පුටුවක හිටපු සැකකරුවෙක් ඊයේ රෑ අල්ලයි

(14-02-2018 07:33)

 

ආන්දෝලනාත්මක ඝාතනයක් බවට පත්ව ඇති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඊයේ (13) රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින එම ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරනු ඇති.

එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත් දකුණ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම යටතේයි.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුනු ඔහුව අද (14) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.