Thursday, April 25, 2024

General line - 0115112241

“එදා ජය රනිල්ගෙයි මෛත්‍රිගෙයි“ මේක "රනිල්ගේ විතරක් වුණේ කොහොමද?" - නායකයින් දෙදෙනාගේ රැස්වීමට ආපු අමුත්තා කතා කරයි




“එදා ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ ඒක රනිල්ගෙයි මෛත්‍රිගෙයි“ කියලා. එතකොට අගෝස්තු ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ ඒක රනිල්ගෙයි මෛත්‍රීගෙයි“ කියලා. එහෙම නම් දැන් පරාජය කාගෙද කියලා ඇහුවම කොහොමද ඒක රනිල්ගෙ විතරක් වෙන්නේ..? සර් මතක තියාගන්න හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ දෙන්නට එකට ඉන්න.

අපිට ඔය නායකයෝ දෙන්නට ඕන කින්ඩියක් දාල යහතින් ගෙදර යන්න පුළුවන්. ඒත් මහින්ද එක්ක ඒව බෑ. දැන් මහින්ද ආයිත් එන්නේ වෙඩි කාපු ඌරා වගේ. ඔය දෙන්නගේ ගෝරියෙන් මහින්ද ඇවිල්ල අපිවයි ඊලඟට මරා දාන්නේ..“

මේ කතාව ඇසුනේ ඊයේ (14) එක්සත් ජාකිත පක්ෂයේ කැබිනට් ඇමතිවරු සහ ජනාධිපති, අගමැති අතර පැවැති සාකච්ඡාවට ආ අමුත්තාගෙන්.  රැස්වීම ආරම්භයේදී මේ අමුත්තාද ඊට සහභාගී වෙන්න යද්දී අමාත්‍ය මලික් සමරවික්‍රම අමුත්තා අමතා කීවේ “මේ ඔයාට මේකට එන්න බෑ. මේක කැබිනට් මීටින් එක“ කියා.

එවිට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මලික් අමතා “ආ එයාට එන්න දෙන්න, එච්.ඊ. එයාට ඉන්වයිට් කරලා තියෙනවා. මාත් ඉන්වයිට් කළා.“ කියා. 

කැබිනට් මණ්ඩලයට ඊයේ ආ මේ අමුත්තා අන් කිසිවෙක් නොව නියෝජ්‍ය අමාත්‍ය, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක. 

අගමැතිවරයා ඉවත් විය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු අගමැතිවරයා තනි එජාප ආණ්ඩුවක් හැදීමට උත්සුක වුණා. ඒ අනුව ශ්‍රීලනිප ඇමැතිවරුන්ට විපක්ෂයේ අසුන්ගැනීමට සිදුවීමත් සමග ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් “මේ මොන වින්නැහියක් කරන්නද යන්නේ?“ කියා ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වන්නට වුණා. යලි සාකච්ඡා ඇරඹී ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවට රන්ජන් රාමනායකට ද ආරාධනා කර තිබුණේ ඉන්පසුවයි.

රන්ජන් නායකයන් දෙදෙනාගේම මුහුණට ඕනෑම විහිළු කතාවක් හෝ ඕනෑම කුණුහරුප කතාවක් හෝ කීවා කියා කිසිවෙකු ඔහු සමග තරහා නොවන චරිතයක් වූ නිසා රන්ජන්ට ආරාධනා කළා විය හැකි බවයි දේශපාලන ආරංචි කියා සිටියේ. 

එහිදී වැඩි දුරටත් කතා කරමින් රන්ජන් කීවේ "තමන්ට කැබිනට් රැස්වීම්වල කතා කරන්නට දන්නේ නැති නමුත් මේවා කීවා කියා තමා සමග තරහා නොවන ලෙසයි" යනුවෙනි.

 “මං මෙතැනට ආවේ දෙන්නා වෙන් කරන්න නොවේ. හාකොබොන්ඩ් දාලා හරි දෙන්නා එක් කරන්නයි මං ආවේ“  රන්ජන් කියද්දී නායකයන් දෙදෙනාටම සිනහා ගොස් තිබුණා.

ආණ්ඩුවට යලි ජනප්‍රසාදය ඇති කරගන්න නම් කළ යුතු යෝජනා කිහිපයක්ද රන්ජන් ජනාධිපති සිරිසේන මහතා වෙත යෝජනා කළා.

1. ට්‍රිලියන 9 ක් විදේශ ණය තිබියදී  ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වැඩි කර ගත් රුපියල් ලක්ෂයේ වැටුප් වැඩි වීම සහ 2500 සහභාගී වීමේ දීමනාව අහෝසි කර යළි භාණ්ඩාගාරයට දෙන්න. (හෙලිකොප්ටර්, නැව් තියෙන අයත් ඉන්නවා. ඒ අයත් මේ දීමනාව ගන්නවා යයිද රන්ජන් මතක් කළා.)

2. මැති ඇමැතිවරුන් ලබා ගත් සුපිරි වාහන යලි බාර දී පූර්වාදර්ශයක් දෙන්න. 

3. අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස යලි දිල්රුක්ෂි ඩයස්ව පත් කරන්න.  

4. කරුණාකරලා පොලිස් පරීක්ෂණවලට බලපෑම් කරමින් දුරකථන ඇමැතුම් නොදෙන්නැයි මැති ඇමැතිවරුන්ට කියන්න.

5. පොහොර සහනාධාරය රු. 350 ට යළි දෙන්න. 

6. ජනාධිපතිතුමා එදා ජනතාවට පොරොන්දු වූවා සේ නිර්පාක්ෂික වෙන්න.

මෙම 6 වෙනි යෝජනාව ගෙන ඒමට පෙර  “මෙය කීමෙන් පසු මට ගහලා එළවන්න එපා“ යයි රන්ජන් පැවසූ අතර කීවා සේම ජනාධිපතිවරයා එම කතාවෙන් කෝප ගත්තා. 

“හරි.. හරි මං ඒ යෝජනාව ඉල්ලා අස්කර ගන්නම්“ රන්ජන් පසුව ප්‍රකාශ කළා.