Friday, April 19, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් - ජනපති කියයි

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් අද (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ද සහය ද ඇතිව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවයි.

එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. ආණ්ඩුවේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලබන සිකුරාදා විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම සාකචඡ්ාවෙන් අනතුරුව අමාත්‍ය සුසිල්් පේ‍්‍රම්ජයන්ත් ඒ පිළිබ`ද මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.  අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට ද රනිල් වික‍්‍රමසිංහ මහතාට තමන් දැන්වූ බවද  ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. එම ඉල්ලීම අග‍්‍රාමාත්‍යවරයා නොසළකා හැර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද අග‍්‍රාමාත්‍යවරයා විසින් අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩාම හමුවේ පවසා තිබෙනවා.

තමන් බිත්තර කට්ට කඩා ඇති බවත් දැන් කළ යුතුව ඇත්තේ පැටවා එළියට ගැනීම බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ජනාධිපතිවරයා සහ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවෙන් පසු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර යාපා, ලක්ෂ්මන් යාපා, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරු මෙන්ම  තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා සහ ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වී අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට සූදානම් වුවහොත් සිය විධායක බලතල යොදා ගනිමින් එය වළක්වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.  

නව සන්ධාන රජය පිහිටුවීම සම්බන්ධයෙන් අනිද්දා මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබඳව සියලූ කරුණු හෙළිදරව් කරන බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහාතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.