Thursday, March 28, 2024

General line - 0115112241

අඹු සැමි යුවලට වෙඩි වැදුණු නිවසේ තවත් තරුණ යුවලක් - ඉලක්කය වැරදිලා දැයි පොලිසියට සැකයක් (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ/කසුන් කැලුම්




අද (18) අලුයම නිවසක් තුළ සිටි අඹු සැමි යුවලක් එල්ල කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරයේ සැබෑ ඉලක්කය ඔවුන් නොවිය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.

මෙම නිවසේ කුලී පදනම මත තරුණයෙක් සහ තරුණියක් වාසය කරන අතර ඔවුන් දෙදෙනා මෙම වෙඩි තැබීමේ සැබෑ ඉලක්කයන් වන්නට පුළුවන් බවයි මේ වන විට සැක මතුව ඇත්තේ.

අදාළ තරුණිය සහ තරුණයා රාත්‍රි සමාජ ශාලාවක සේවය කරන අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම තරුණිය නිවසේ සිට නැහැ. කෙසේවෙතත් තරුණයා පමණක් නිවසේ සිට ඇති බවයි වාර්තා වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

(ඡායාරූප - අයිරංගි එදිරිසිංහ)

(වෙඩි ප්‍රහාරයට ලක් වූ අඹු සැමි යුවල)
 

                                                                             (සිද්ධිය වූ නිවස)

-----------------------------------

වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා මරුට

(18-02-2018 09:06)

 

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළට පැමිණ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවලගෙන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා. 

එහිදී රෝහල් ගතකර සිටි දෙදෙනාගෙන් 51 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

------------------------------------

නිවෙසට ඇතුළු වී යුවලට වෙඩි තබයි

(18-02-2018 07:15)

 

අද (18) අලුයම නිවසක් තුළ සිටි යුවලක් එල්ල කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ තලංගම , විමලතිස්ස මාවතේ නිවසකදීයි.

අද අලුයම් කාලයේ මෙම නිවසට ඇතුළු වී ඇති නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙලෙස එහි සිටි යුවල වෙත වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ යුවල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.