Friday, April 19, 2024

General line - 0115112241

"රටවල් රැසක නායකයින්ට වෙච්ච දේ - පුටු පෙරළෙයි..තනතුරු අහිමි වෙයි..බලය බිඳ වැටේ"

පවිත්‍රා මදුහර්ෂණි




ශි‍්‍ර ලංකාවේ දේශපාලන තත්ත්වය මේ වනවිට පවතින්නේ අර්බුධ රැසකයි. ඒ අනුව ලාංකීය දේශපාලනයට අපල කාලයක් උදා වී ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.

දේශීයව බලන කළ තත්ත්වය එසේ වෙද්දී ජාත්‍යන්තර දේශපාලන කරළියෙන්ද පසුගිය සතිය තුළදී අහන්නට දකින්නට ලැබුණේ එතරම් සුභ ආරංචි නොවේ.

මේ ඒ පිළිබඳ සටහනක්,

ලොව ප‍්‍රබල රාජ්‍ය නායකයෙකු වන ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දූෂණ චෝදනා රැසක් එල්ල වීමත් සමග ලෝකයේ තවත් නායකයින් ගැන පුවත් රැසක් වාර්තා වෙන්නට ගත්තා.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙලෙස චෝදනා එල්ල කළේ එරට පොලීසියයි. මුල්‍ය වංචාවන් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි ප‍්‍රබල සාක්ෂි තමන් සතු බව පොලීසිය ප‍්‍රකාශ කළා. එහෙත් එම සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන අග‍්‍රාමාත්‍ය නෙතන්යාහු සඳහන් කරන්නේ  කිසිසේත් ධූරය අත්නොහරින බවයි.

ඊශ‍්‍රායලයේ තත්ත්වය එසේ වෙද්දී දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකෝබ් සූමා ද පසුගියදා සිය ධූරයෙන් ඉවත්වුණා. විදෙස් වාර්තා අනාවරණ කළේ සිය පක්ෂයෙන්ම එල්ල වුණු චෝදනා සහ බලපෑම් මධ්‍යයේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්නට දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයාට සිදුවූ බවයි. 

කොහොම වුනත් 2009 වසරේ සිට අඛණ්ඩව වසර 9ක් ජාකෝබ් සූමා දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන්නා. මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් වූ චෝදනා රැසක් නිසා ඔහුට මෙම තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වුණා . සූමාගෙන් හිස්වූ එරට ජනාධිපතිධූරයට සිරිල් රම්ෆෝසා තේරී පත්වුණා. 

දකුණු අපි‍්‍රකාවේ තත්ත්වය එසේ වෙද්දී එරට සමීප රාජ්‍යයක් වන සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලනයටද පසුගියද කණකොකා හැඬුවා. ඒ, එරට ප‍්‍රබල දේශපාලන කි‍්‍රයාකරුවෙකු මෙන්ම විපක්ෂ නායකයාද වූ මොර්ගන් ස්වන්ගිරායිගේ අභාවයත් සමගයි.

කලක පටන් පිළිකා රෝග තත්ත්වයක් හමුවේ පීඩා විඳිමින් සිටි ස්වන්ගිරායි මියයන විට  65 වන වියේ පසුවුණා.

මෙම කාරණා හේතුවෙන් උණුසුම් වුනු අපි‍්‍රකානු කලාපය  තවත් උණුසුම් වුයේ ඉතියෝපියානු අග‍්‍රාමාත්‍ය හෙලමිරාමම් ඩෙසලේන් අනපේක්ෂිතව සිය ධුරය අතහැරීමත් සමගයි.

වසර ගණනාවක් පුරා රට තුල පවතින දේශපාලන අස්ථාවරත්වයට තිත තැබීමට මෙලෙස සිය ධූරය අත්හැරීමට ඔහු කටයුතු කළ බවයි වාර්තා වුණේ. 2012 දි ඉතියෝපියාවේ අග‍්‍රාමාත්‍යවරයා වූ හෙලමිරාමම් ඩෙසලේන් එලෙස ඉල්ලා අස්වීමත් සමගම පාලක සන්ධානයේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී තිබෙනවා. 

මේ අතර නවසීලන්තයේ හිටපු අග‍්‍රාමාත්‍ය බිල් ඉංග්ලිෂ් පසුගියදා  එරට විපක්ෂ නායකධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ, පක්ෂ සාමාජිකයන්ගේ විශ්වාසය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඊට සුදුසු නව නායකයෙකු පක්ෂ සාමාජිකයින් විසින් පත් කර ගෙන තිබුණා. පක්ෂ සාමාජිකයින්ගේ එම තීන්දුවට හිස නමා තමන් ධූරය අත්හරින බවයි බිල් ඉංග්ලිෂ් ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර නේපාලයටද පසුගියදා නව අග‍්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වුණා. ඒ අනුව එරට 41වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස කාද්ගා ප‍්‍රසාද් ශර්මා දිවුරුම් දෙනු ලැබුවා. කාද්ගා ප‍්‍රසාද් ශර්මා ප‍්‍රසිද්ධියක් උසුලන්නේ නේපාලයේ හිටපු ප‍්‍රබල විප්ලවවාදියෙකු ලෙසයි. 

මේ අතර බංග්ලාදේශයේ දේශපාලනය තුළ ප‍්‍රබල කථා බහක් ඇති කළ එරට හිටපු අගමැතිනී කලීඩි ෂියා ට පසුගියදා එරට අධිකරණය මගින් වසර 05ක සිර දඬුවමක් නියම කළේ දූෂණ චෝදනාවකට වරදකරු කරමින්.