Saturday, April 20, 2024

General line - 0115112241

"පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ"




ගෙට ගිනි ගත් පසු ළිඳ හාරා ඵලක් නොවන නිසා මේ අවස්ථාවේ සියලු දේශපාලන නායකයින් එක්ව ජනතාවගේ වික්ෂිප්ත භාවය නැති කිරීම සඳහා කටයුතු කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි මහනාහිමියන් පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ සඳහන් කළේ,

අර කතාවක් තියනවා ආපදාවක් එන්න ප්‍රථම සිතන්න ඕනෙ කියලා. ගෙට ගිනි ගන්න පෙර ළිඳ හාරා ගන්න ඕනෙ. ගෙට ගිනි ගත්තට පසුව ළිඳ හාරලා වැඩක් නැහැ. ඒ නිසා දැන් රටේ ජනතාව වික්ෂිප්තව සිටින බව පේනවා. දැන් ජනතාවගේ වික්ෂිප්ත භාවය නැති කිරීම සඳහා සියලු දේශපාලන නායකයින් සෑම දෙනාම සිතට ගෙන කටයුතු කළ යුතුයි.

පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ කියලා උපමාවක් තිබෙනවා. පරිත්‍යාගයක් කිරීමේ ප්‍රතිඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. ඒ වගේම අනෙක් ආගමික නායකවරුන්ගේ  ජීවිත කතා දෙස බැලූ විට ඒ අයත් පූජ්‍යත්වයට පත්ව තිබෙන්නේ ඒ පරිත්‍යාගය නිසයි. අද අප රටේ නායකයින් දෙස බැලූ විටත් පෙනී යන්නේ මේ නායකයින් පරිත්‍යාගය කරන්න උත්සාහවන්ත විය යුතුයි කියන එකයි.

පසුගිය ඡන්ද ප්‍රතිඵල දෙස බැලූවිට ජනතාව යම් යම් අදහසක් දක්වා තිබෙන බව පැහැදිලියි. නමුත් අද වන විට ජනතාව නිශ්ශබ්දතාවයෙන් සිටින බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අනාගතයේ සුබ ලකුණක් රට තුළ පෙනෙන්නටවත් නැහැ. එය ඇති කරගැනීමට අපේ පාලන පක්ෂයත් අනෙක් සෑම දෙනාත් ඉතා හැඟීමෙන් යුතුව කටයුතු කරන්න ඕනෙ.  පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා පිළිබඳ හැඟීමෙන් ජනතාව කටයුතු කර තිබෙන බව පේනවා. ඒ නිසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා සාකච්ඡා කර රටේ ජනතාවගේ සිත් සතන් ප්‍රබෝධමත් වන ආකාරයට වැඩ කටයුතු කිරීම ඉතා වැදගත්. ජනතාව රටේ ඒකීය භාවය පිළිබඳ හැඟීමක් ඇතිව කටයුතු කරන බවක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා සියලු පාලකයින් දූරදර්ශීව  කටයුතු කළ යුතුයි.