Tuesday, April 16, 2024

General line - 0115112241

ඉල්ලීම් රැසකට ප්‍රතිචාර දක්වමින් රථ වාහන ආනයනයේ දී පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ

ඉෂාර සුපෙම් මානගේ




පසුගිය කාලයේ ඉදිරිපත් වූ ඉල්ලීම් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රථ වාහන ආනයනයේ දී පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ චක්‍රලේඛය නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ රාජ්‍ය නිලධාරීන් සඳහායි.

රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් මැයෙන් නිකුත් කළ චක්‍රලේඛය මගින් එම නිලධාරීන්ට කාණ්ඩ තුනක් යටතේ වාහන ආනයනයට සහන ලබාදී තිබුණා. පළමු කාණ්ඩය යටතේ ඇමෙරිකානු ඩොලර් 45,000ක උපරිමයකට යටත්ව මෝටර් රථයක් ආනයනය කිරීමට ද, දෙවන කාණ්ඩය යටතේ ඇමෙරිකා ඩොලර් 40,000ක උපරිමයකට යටත්ව වාහනයක් ආනයනයට ඉඩකඩ සළසා දී තිබුණා. තුන්වන කාණ්ඩය යටතේ වාහනයක් ආනයනය කිරීමට ලබා දී තිබුණේ ඇමෙරිකා ඩොලර් 35,000ක උපරිමයකට යටත්වයි. එය පසුගිය අයවැයේ දී සංශෝධනය කෙරුණා.

ඒ අනුව පළමු කාණ්ඩයට ඇමෙරිකා ඩොලර් 45,000 වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රුපියල් මිලියන 9ක් අඩුකළ පසු වටිනාකම ද ඩොලර් 40,000 සහනය වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රුපියල් මිලියන 7.5ක් අඩු කළ පසු වටිනාකම හා තුන්වන කාණ්ඩය යටතේ ඩොලර් 35,000 සහනය වෙනුවට රුපියල් මිලියන 6ක් අඩු කළ පසුවන වටිනාකම සහනයක් ලෙස ලබාදීමටයි යෝජනා වුණේ.

මෙම යෝජනාවලට සංශෝධන එක්කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළේ රාජ්‍ය නිලධාරීන්ගේ කැමැත්ත හා භාණ්ඩාගාරයේ එකඟතාව මතයි.

ඒ අනුව පළමු කාණ්ඩයේ නිලධාරීන් සඳහා යෝජනා වූ රුපියල් මිලියන 9 වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රුපියල් මිලියන 22ක් අඩු කිරීමෙන් පසු වටිනාකම ද, දෙවන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 7.5ක් අඩු කළ පසු වටිනාකම රුපියල් මිලියන 16 දක්වා ඉහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා. තුන් වන කාණ්ඩය යටතේ යෝජනා වූ රුපියල් මිලියන 6ක සහනය වෙනුවට රුපියල් මිලියන 12ක සහනයක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ. ඊට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත් කර තිබෙනවා.