Friday, March 29, 2024

General line - 0115112241

කුමාර පොකුණ යා කර ඉදි කළ ඉපැරණි කුඩා ගල් පාලමක් හමුවෙයි

රොෂාන් තුෂාර - පොළොන්නරුව




ඓතිහාසික පොළොන්නරුව ඇතුළු නුවර දිය අගල හා ඉපැරණි කුමාර පොකුණ යා කර ඉදි කර තිබු ඉපැරණි කුඩා ගල් පාලමක් පුරා විද්‍යා කැනීම් තුලින් මතු කර ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

මේ අනුව මෙම ඉපැරණි ශිලාමය පාළම  මීටර් 03ක් දිගැති බවත්, ඉපැරණි කුමාර පොකුණ වටා ජලය රැගෙන ගිය කානු පද්ධතින්ද මෙම කැනීම් ඔස්සේ සොයා ගැනීමට හැකිවූ බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සදහන් කළා.


"පොළොන්නරුව ඇතුළු නුවර නගරයේ පිහිටා ඇති කුමාර පොකුණ ඓතිහාසික වශයෙන්, පුරා විද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් ස්මාරකයක්. මේ ස්මාරකය වටා තිබෙන පුරාවිද්‍යාත්මක පසු බිම සොයා බැලීම සදහා අපි මෙහි කැනීම් කටයුතු ආරම්භ කළා. මෙහිදී ඉතාම වැදගත් ආකාරයට පිහිටා තිබු කුමාර පොකුණ වටා යන දිය අගලක ලක්ෂණ පුර විද්‍යාඥයින්ට සොයා ගැනීමට ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම මේ දිය අගල සම්බන්ධ කර ගෙන කුමාර පොකුණට ජලය ලබා ගැනීම සදහා භාවිතා කරන ලද කාණු පද්ධතීන් මේ වන විට සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ දිය අගල හා ගොඩ බිම සම්බන්ධ කිරීම සඳහා යොදා ගෙන තිබුණු මීටර් තුනක් පමණ දිගැති ඒ දණ්ඩක් සොයා ගැනීමට හැකි වෙලා තිබෙනවා. අපට පැහැදිලිව පෙන්නේ දැනට වසර ගණනාවකට පෙර මෙම ස්ථානය පුරා විද්‍යාඥයින් අතින් සංරක්ෂණය වෙලා පස් වලට යටව තිබු ආකාරයක්. ඒ බව අපට කැනීම් ඔස්සේ තහවුරු වෙලා තිබෙනවා. ඉතාම වැදගත් කාරණය තමයි කුමාර පොකුණට සම්බන්ධ දිය අගලක ස්භාවය සම්බන්ධ කර ගෙන ඒ වටා රැස් වුනු ජලය කුමාර පොකුණ සදහා සම්බන්ධ කර ගත් කානු පද්ධතිය මේ හරහා සොයා ගැනීමට හැකියාව ලැබීම."

පරාක්‍රම සමුද්‍රය කුමාර පොකුණට සම්බන්ධ වුනු ආකාරය මෙම පුරා විද්‍යාත්මක ගවේෂණය සිදු කරනවා යැයිද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසනවා.