Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී දේවිගේ දේහය මව් බිමට! අවසන්කටයුතු අද




අභාවප‍්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ‍්‍රීදේවිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) සිදු කිරීමට නියමිතයි. ඉන්දීය වේලාවෙන් පස්වරු 3.30ට මුම්බායිහි දී එම කටයුතු සිදු කෙරෙනු ඇති. ශ‍්‍රීදේවිගේ පවුලේ ඥාතීන් පැවසුවේ ඉන්දීය රසිකයින්ට අවසන් වරට ඇගේ දේහය දැක ගැනීම සඳහා පැය 03ක කාලයක් ලබාදීමට සූදානම් බවයි. 

54 හැවිරිදි ශ‍්‍රීදේවි කපූර් ඩුබායිහි දී ඉකුත් සෙනසුරාදා අභාවප‍්‍රාප්ත වුණා. කෙසේ වෙතත් ඇයගේ දේහය පවුලේ ඥාතීන් වෙත ඩුබායි බලධාරීන් භාරදුන්නේ ඊයේ දිනයේයි. ඒ, ශ‍්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් හේතුවෙන්. මුලින් ප‍්‍රකාශ වූයේ ශ‍්‍රීදේවිගේ මරණය හෘදයාබාධයකින් සිදුව ඇති බවයි. එහෙත් දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වුණා.

එරට වේලාවෙන් ඊයේ රාත‍්‍රියේ ඇගේ දේහය ඉන්දියාවට ගෙන ආවේ පෞද්ගලික ගුවන් යානයකින්. දේහය රැගෙනඒම සඳහා ශී‍්‍රීදේවිගේ ස්වාමියා වන බොනී කපූර් හා ඔහුගේ පළමු විවාහයේ පුත් ජනපි‍්‍රය නළු අර්ජුන් කපූර්ද ඩුබායි බලා ගොස් තිබුණා. දේහය ඉන්දියාවට රැගෙන ආ අවස්ථාවේ අනිල් කපූර් ඇතුළු සුපිරි නළු නිළියන් කිහිප දෙනෙකුම ගුවන් තොටුපලට පැමිණි සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.