Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර නීතිය හා බලය ක්‍රියාත්මක කිරිමේ තීරණයක්

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය හා බලය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් යෝජනාවක් ජගත් සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් නිවේදනය කර තිබෙනවා.

ජිනිවාහිදී රැස්වු ජගත් මානව හිමිකම් සැසියේ දී ඔහු මේ බව ඊයේ (08) දින දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා දැනටමත් සාමාජික රටවල් සූදානම් බවද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය හා ජාතීන් අතර සමගිය මෙන්ම සහජීවනය  ඇති කිරිම සඳහා මෙයට වඩා ශ්‍රී ලංකා රජය මැදිහත් වන ලෙසත් එය ආරක්ෂා කිරිමට කටයුතු කල යුතු බවටත් පොරොන්දු කරවා ගැනීමේ යෝජනාවක් මෙහිදී ඉදිරිපත් වනු ඇති බවයි අපේක්ෂා වන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කළේ ශ්‍රි ලංකාවේ සුළු ජාතීන්ට එරෙහිව සිදුවන ක්‍රියා සහ රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තමා දැඩි අවදානය යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට වගවීමේ ක්‍රියාවලිය සඳහා මෙන්ම සංහිඳියාව ඇති කිරිම වෙනුවෙන් වසර 2ක කාලයක් ලබාදී ඇති අතර එම කාලසීමාව අවසන් වෙමින් තිබෙන අවස්ථාවක රට තුල යළි ජාතිවාදී අරගලයක් හිස ඔසවා තිබීම ගැන තමන් ලැජ්ජාවට පත්වන බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මෙහිදී පවසා ඇත්තේ.

සංහිඳියාව වර්ධනය විය යුතුව ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිඳු වෙනසක් නොමැති වීම ගැන කණගාටුවට කරුණක් බවන් ඔහු පෙන්වා දුන්නා.

කිසිඳු වර්ධනයක් නොමැති නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය හා බලය ක්‍රියාත්මක කිරිමේ යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ජගත් සංවිධානයේ සාමාජික රටවලට තමා ද බලකර සිටින බවද  ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පැවසුවා.

මේ සම්බන්ධයෙන් තමා මෙම මස 21 වැනි දින ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.