Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් අවහිරතාවය ඉවත්කරන්න අමරිකාවත් මැදිහත් වෙයි

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ ජාලා වෙබ් අඩවි තහනම කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට විදෙස්  රාජතාන්ත්‍රිකයන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ලක් රජය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියෙන් මෙරට ජනතාව මෙන්ම විදේශීකයන් ඇතුළු විදෙස්  රාජතාන්ත්‍රිකයන් ද පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් සිය ට්වීටර් පිටුව මගින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගන්නා විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේදයක් බවයි.

වෙනස් වන ලෝකයේ සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකර මහඟු සේවාව අගය කළ යුතුව ඇති අතර එහි ඇති හොඳ සහ නරක යන දෙකම සමසේ වටහා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි මාධ්‍යයන් ඔස්සේ ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සහ එය දැක නොඉවසිල්ලෙන් කටයුතු කරන පිරිස් ඊට වගකීව යුතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවලට කිසිවක් කිරිමට නොහැකි බව ද ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් ශ්‍රී ලංකා රජයට කරුණු පැහැදිළි කර දී තිබෙනවා.

එමෙන්ම වෛරයෙන් පිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් රජය අවදානය යොමු කර ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරිම මිස තවදුරටත් සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම සාධාරණ නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දින කිහිපය පුරා මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හමුවේ එය පාලනය කිරිම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නීති ක්‍රියාත්මක කළ අතර සමාජ ජාල මාධ්‍ය සියල්ල තාවකාලිකව අවහිර කර එහි භාවිතය සීමා කිරිමට කටයුතු කළා.

මේවන විට දිවයිනේ ගැටුම් පැවති ප්‍රදේශවල තත්ත්වය සාමකාමී වුවද සමාජ ජාලා සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණය ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකළ අතර රටතුල සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කළ හැකි ද යන්න පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජය කරුණු සොයා බලමින් සිටින බවයි සඳහන්.