Friday, April 26, 2024

General line - 0115112241

තම පියාගේ ඝාතකයන්ටත් සමාව දුන් පුත්‍රයෙකු ප්‍රභාකරන්ගේ මරණය දැකීමෙන් කම්පා වී ඇත්තේ අගමැති සටන ජය ගන්න ද?

වසන්ත පිවිතුරු - One India ඇසුරෙන්




ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වූ තමන්ගේ පියා වන රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට තමන් සමාව දෙන බව කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පවසනවා.

ඔහු කියා සිටියේ මුලින් තම පියාගේ ඝාතකයන් සම්බන්ධයෙන් සිතෙහි වෛරයක් හා තරහක් තිබුණ ද කල්යාමත් සමග ඔවුන්ට මුළු හදවතින්ම සමාව ලබාදීමට තමාට මෙන්ම තම පවුලේ උදවියට ද හැකියාව ලැබුණු බවයි.

කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ සිංගප්පූරුවේ පැවති උත්සවයක් අමතමින්.

මෙම උත්සවයේ දී ඔහු විසින් ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු මේ බව කියා සිටියා.

තමන්ගේ පියාගේ ඝාතකයන්ට තමා සහ ඔහුගේ නැගණිය වන ප්‍රියංගා ගාන්ධි ද මීට වසර කිහිපයකට පෙරම සමාව ලබාදුන් බවද මෙහිදී ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් රජීව් ගාන්ධිගේ ඝාතන නඩුවේ වරදකරුවන් වූ 7 දෙනෙකු මෙවන විටත් සිරභාරයේ ඇති අතර ඔවුන්ට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මරණිය දඬුවම් ලබාදී තිබෙනවා.

ඔවුන්ව නිදහස් කරන ලෙස එම වරදකරුවන් විසින් අවස්ථා කිහිපයකදී අභියාචනා මගින් ඉල්ලීම් කළ ද එය අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඉන් අනතුරුව තමිල්නාඩු රජය ඊට මැදිහත් වූ අතර ඔවුන් නිදහස් කිරිම සඳහා අවසර ලබාදෙන ලෙස නැවතත් අභියාචනයක් මගින් තමිළ්නාඩු රජය ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තමිල්නාඩු රජයට කරුණු පැහැදිළි කරමින් කියා සිටියේ ඉන්දිය නීතිය අනුව  මරණ දඬුවම හිමිවු වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන අතර ඔවුන්ට සමාව දීමේ බලය ඇත්තේ ඉන්දිය ජනරජයේ නායකයාට බවයි.

ඉන්දිය ජනරජයේ නායකයා වනුයේ එරට ජනාධිපතිවරයායි. එහිදී තමිල්නාඩු රජය විසින් ඉන්දිය ජනාධිපතිවරයාගෙන් අදාළ වරදකරුවන්ට සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී ඉන්දියවේ ජනාධිපති ධූරය දැරු ප්‍රතිභා පටේල් විසින් තමිල්නාඩු රජයේ ඉල්ලීම ප්‍රත්ක්ෂේප කළ අතර ඔවුන්ට සමාව ලබාදිය නොහැකි බව සඳහන් කළා.

කෙසේ වෙතත් ඉන්දිය නීතියට අනුව මරණ දඬුවම නියමවූ වරදකරුවෙකු වසර 25ක් ඉක්මවා සිරදඬුවම් විඳිමින් තවදුරටත් ජීවතුන් අතර සිටින්නේ නම් අදාළ දඬුවම ලිහිල් වී ඔහුට නිදහස හිමි වනවා.

නමුත් රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට පමණක් එම නීතිය ක්‍රියාත්මක වුයේ නැහැ. ඊට හේතුව රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවන් වීම හා ඉන්දිය ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබාදීම ප්‍රතික්ෂේප වීමයි.

මේ අතර එල්ටීටීඊ සංවිධානය විසින් සිය පියා ඝාතනය කර වසර 27ක් ගතවී ඇති මෙම අවස්ථාවේ දී රාහුල් ගාන්ධි මෙම ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් විවිධ අදහස් මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනවා.

ඉන් රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ පේරාරිවාලන් නැමැත්තාගේ මව වඩාත් ප්‍රීතියට පත්ව ඇති අතර ඇය විසින් රාහුල් ගාන්ධිට ස්තුතිය ද පුද කර ඇති බවයි ඉන්දිය වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ පැවති උත්සවයේ දී රාහුල් ගාන්ධි තවත් කරුණක් ද යළි අනාවරණය කළා.

ඒ තමා ජීවිතයේ අධික ලෙස කම්පනය වුයේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේයි ප්‍රභාකරන්ගේ හා ඔහුගේ දරුවන්ගේ ඝාතනයන් දැකීමෙන් බව සඳහන් කරමින්.

මෙම ප්‍රකාශය මෙයට මාස කිහිපයකට පෙර ද ඔහු විසින් පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සඳහන් කර තිබුණා.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දිය මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග කිරිමට නියමිත බවයි එරට වාර්තා පවසන්නේ.

එම මැතිවරණයේ දී තමිල්නාඩුවේ බලය සහ එල්ටීටීඊ හිතවාදීන්ගේ ඡන්දය ඉළක්ක කර ගනිමින් රාහුල් ගාන්ධි මෙම ප්‍රකාශය කර ඇති බවටයි ඉන්දිය දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.