Friday, April 26, 2024

General line - 0115112241

අත්අඩංගුවට පත් පාතාල මදූෂ්ගේ ගෝලයින් දෙදෙනාගෙන් එක් අයෙක් ගැන තවත් තොරතුරු හෙළිවෙයි (UPDATE)

හේමන්ත කහවලගේ




පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ගෝලයෙකුගේ දේශපාලන සබඳතා පිළිබඳ තවත් තොරතුරු හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලසන්ත වික‍්‍රමසේකර නැමැත්තා වැලිගම ප‍්‍රාදේශීය සභාව සඳහා අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරිමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර තිබූ බවයි මේ වන විට වාර්තාවී ඇත්තේ. 

ඔහු ඉකුත්දා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට තරග කළා.

ඒ, මිදිගම බටහිර කොට්ඨාසය නියෝජනය කරමින්. එහිදී ඔහු ලබා ගත්තේ ඡන්ද 1040ක් පමණයි. එබැවින් ලසන්ත වික‍්‍රමසේකර නැමැත්තාට ඍජුවම වැලිගම ප‍්‍රාදේශිය සභාවට තේරී පත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුවයි ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂයේ අතිරේක ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ. 

ලසන්ත වික‍්‍රමසේකර නැමැත්තා සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් කතා කර ඔවුන් නිදහස් කරන ලෙස බලපෑම් කර තිබූ බව නෙත් නිවුස් ඉකුත් සඳුදා අනාවරණ කළා. 

 

----------------------------------------------

අත්අඩංගුවට පත් පාතාල ගෝලයින් දෙදෙනාගේ තොරතුරු හෙළි වෙයි

(13-03-2018 06:16)

 

පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ගෝලයින් දෙදෙනා පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට හෙළිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් දෙදෙනා නඳුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් 'හරක් කටා' සහ ලසන්ත වික‍්‍රමසේකර ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම ලසන්ත වික‍්‍රමසේකර නැමැත්තා ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට තරග කළ අයෙක්. මිදිගම බටහිර කොට්ඨාසය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු එහිදී ඡන්ද 1040ක් ලබාගෙන ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ මෙම සැකකරු සතුව තිබී නඳුන් චින්තක වික‍්‍රමරත්න නමින් සකස් කළ ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රයක් හා හැඳුනුම්පතක් ද සොයා ගැණුනා. එමෙන්ම ඔහු සතුව තිබී තවත් හැඳුනුම්පත් තොගයක් ද සොයා ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වන නඳුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් හරක් කටා වැලිගම මිදිගම බටදූව පාරේ පදිංචිකරුවෙක්. ඔහු සතුව තිබී අත්බෝම්බයක් සහ හෙරොයින් ග‍්‍රෑම් 15කට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැණුනා.

ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන කාන්තාවක් ද බැද්දාගාන ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඔවුන් තිදෙනා රඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වනවිට ප‍්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් කතා කර ඔවුන් නිදහස් කරන ලෙස බලපෑම් කර තිබූ බව නෙත් නිවුස් මීට පෙරද අනාවරණ කළා.