Friday, April 19, 2024

General line - 0115112241

පහරදුන් මන්ත්‍රී සහ බිරිඳ අහිංසකයි! බස් රථය පාතාල නායකයකුගේ! බලපත්‍රයත් නැහැ! මන්ත්‍රීට ඇපත් නැහැ

චම්ලි ඒකනායක /නිමල් අල්ගෙවත්ත




දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහුට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බව,දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේ දි අද (13) කතා බහට ලක්වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රි සම්පත් අතුකෝරල එහිදී පැවසුවේ, පිස්තෝලය අදිසි අවස්ථාවක දි ගන්නේ නැතිව කොස් කොටන්න ද යන්නයි. "එම් කේ. කසුන් පළාත් සභා මන්ත්‍රිවරයා පහර දුන් රියැදුරා සේවය කළ බස් රථයේ අයිති කරුවා පාතාලයේ නායකයෙක්. ඔහු දැනටත් හිර ගෙදර තමයි සිටින්නේ. මෙම බස් රථයේ මාර්ග බලපත්‍ර නෑ." ඔහු එහිදී පැවසුවා.

දකුණු පළාත් සභා මන්ත්‍රි  අජිත් රාජපක්ෂ මෙහි දී පැවසුවේ තමාට නීතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකි ද යන්නයි.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්න කෝන් නිලමේ, "මේ අපට නිල ගිනි අවියක් දී ඇත්තේ ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්න ද? දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිව්‍ය ලෝකයේත් සුරයෝ හා අසුරයෝ අතරද ගැටුම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න".

මේ සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා දෙන්නැයි පැවසූ දයාවංශ කෝදාගොඩ පැවසුවේ එම් කේ කසුන් මන්ත්‍රිවරයාට මුලින්ම  පහර දුන් බස් රථයට මාර්ග බලපත්‍රය නැතැයි වාර්තා වන බවය.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි අශෝක ධනවංශ, එම් .කේ කසුන්ට සාධාරණයක් ඉටු කරන්න පියවර ගන්නැයි මෙහිදී ඉල්ලා සිටියා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයා සහ බිරිඳ අද (13), මාර්තු 27දා දක්වා යළි බන්ධනාගාර ගත කළා.