Thursday, April 25, 2024

General line - 0115112241

මහනුවර සිද්ධියේ සැළසුම් හෙළි වේ

ලහිරු කපුගේ




මහනුවර සිදුවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තවත් සැලසුම් හෙළි කර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්.

සැකකරුවන් විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය වපුරන ආකාරයෙන් මුදුණය කළ අත්පත්‍රිකා සහ පෝස්ටර් තොගයක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

ඔහු තවදුරටත් කියා සිටියේ මහනුවර සිද්ධිය මුල්කරගෙන පැමිණිලි 423ක් ලැබී ඇති බවයි. සෙසු ප්‍රදේශවලින් සිද්ධින් 22ක් වාර්තා වී ඇති බව ද ඔහු කියා සිටියා.

පූජනීය ස්ථානවලට අලාභ හානි කිරිමේ සිද්ධින් දිවයින පුරා 24ක් සහ වාහනවල අලාභ කිරිමේ සිද්ධින් 65ක් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියා.

ඉකුත් 4වනදා සිට 12වනදා දක්වා කාලය තුළ නිවාස හා වෙළඳසැල් වලට පහරදීමේ සිද්ධීන් 445කට අදාළව පැමිණිලි ලැබී තිබෙනවා. පූජනීය ස්ථාවලට පහරදීමේ සිද්ධීන් 23ක් වාර්තා වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සමස්ථයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 280ක්.

 ඒ අතරට අසමගිය හා ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා කටයුතු කළ 10 දෙනෙකුද ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.