Friday, April 19, 2024

General line - 0115112241

පාසලක් තුළ මැතිවරණයක් (PHOTOS)

දිනසේන රතුගමගේ




පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැති පාසලක් පිළිබඳව පුවතක් වාර්තා වුණා.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන අන්දම පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ සිසුන් සඳහා මෙම ප්‍රායෝගික වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

පාසලේ වෙනත් අංශවල සිසුන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ සහය ඇතිව මුළු දවස පුරාම පවත්වන ලද මෙම ප්‍රායෝගික වැඩමුළුවේදී මැතිවරණ කොමසාරිස්වරයෙකු, තේරීම්භාර නිලධාරීවරයෙකු, පක්ෂ නායකයින් හා පක්ෂ ලේකම්වරු වශයෙන් පිරිස් පත්කිරීමද සිදු කෙරුණා.

නාම යෝජනා ලබාදීම, භාර ගැනීම ප්‍රතික්ෂේපවීම ඇතුළු මැතිවරණයකදී සිදුවිය හැකි සියළුම දේ සිසුන්ට ඉගෙන ගැනීමට හැකිවන අන්දමට මෙම ප්‍රායෝගික වැඩමුළුව සංවිධානය කොට තිබුණා.

මැතිවරණ නීති රීති උල්ලංඝණය වීම පිළිබඳව සොයා බැලීමට මැතිවරණ නිලධාරීන් මෙන්ම පොලීසියද මෙම වැඩමුළුවෙදී පත්කර සිටි අතර ජනමාධ්‍යවේදීන් වශයෙන් සහභාගි වී සිටියේ යාපනයෙන් තෝරාගත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්.

ජනමාධ්‍ය හරහා නිල මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන අන්දම හා එහි විධිමත් භාවයද මෙම වැඩමුළුවේදී ප්‍රායෝගිකව අත්විදීමට යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට එදින අවස්ථාව ලැබී තිබුණා.