Thursday, April 18, 2024

General line - 0115112241

ජාතියට ඇති අභියෝග ජයගැනීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පෙරමුණ ගනිමින් ජිනිවාහිදී විරෝධයක

චමින්ද කරුණාරත්න - ජිනිවා සිට




ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට කරන කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් ඊයේ (18) ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.

එම විරෝධතාව ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය මොනොකෝ, ස්වීඩනයස්විට්සර්ලන්තය යන රටවලින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයෝ සහභාගී වූණා.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් ඇතුලු කණ්ඩායමක්ද විරෝධතාවට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටීම විශේෂත්වයක්.

මෙහිදී අදහස් දැක්වූ  ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වැරදි වාර්තා පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015දී ඇමෙරිකාව විසින් සකස්කර ඉදිරිපත් කළ යෝජනාවකට කිසිදු අධ්‍යයනයකින් තොරව සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වත්මන් රජය විශාල වරදක් කර ඇති  බවයි.

මේ නිසා යම් දිනක ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දී ඇති යෝජනාව පාදක කරගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ඉල්ලීමක් ඉදිරිපත්   වුවහොත් එහි නිශේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල්ද ශ්‍රී ලංකාවට සහායදීමට පසුබට වනු ඇති බව පැවසූ ආචාර්ය ගොඩහේවා තවදුරටත් කියා සිටිය ශ්‍රී ලංකාවේ රජය අන්තර්ජාතික බලවේග හමුවේ දීන ලෙස දන නමා පිලිගත්  මෙම පදනම් විරහිත ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරන බව ලෝකයට වටහා දීමේ වගකීම ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය භාරගෙන ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ  රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ  ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දුන් ආකාරයත්, එය විවාදයකින් තොරව සම්මත කළ ආකාරයත් පිළිගත් ක්‍රමවේදයට පටහැනි නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීමට ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය තීරණය කර ඇති බවයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න පෙන්වා දුන්නේ වසර තුනකට පෙර ඉතාලියේ මෝදනා නුවරදී ආරම්භ වූ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය අද රටවල් ගනනාවක පැතිර  ඇති විශාල සංවිධානයක් බවට වර්ධනය වී අති බවයි.

විදෙස් බලවේග හමුවේ  ජාතියට ඇති අභියෝග ජයගැනීමට ගෝලීය සංසදය සමග එක්වන මෙන් ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔහු එහිදී ආරාධනය කර සිටියා.