Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකීකයන්ගේ සුබපැතුම් මැද ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාව අරන් යයි

කසුන් කැලුම්




නිදහස් කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ, ඊයේ (18) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේදී තියුණු සටනකින් පසු බංග්ලාදේශය කඩුලූ 4කින් පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 166ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය තමන් සතු කර ගත්තේ අලංකාර 6 පහරක් එල්ල කරමින්. ඉන්දීය ඉනිමේ මුල සිට වැඩි වාසි අත්කර ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වුවද තරගය18වන  පන්දුවාරයේදී තරගයේ වාසිය බංග්ලාදේශ දෙසට යොමුවුණා.

, එම පන්දුවාර ක්‍රියාත්මක කළ මුස්තර්ෆීසුර් රෙහෙමාන් එක් ලකුණක් පමණක් ලබා දී ඒවනවිට සාර්ථකව සිටි මනේෂ් පාන්ඩේගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි.

ඒ සමගම ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 12කදී ලකුණු 34ක් ලබා ගත යුතු වුණා. ඒවනවිට බංග්ලාදේශයේ සාර්ථකම පන්දු යවන්නා වූ රුඛෙල් හුසේන් යැවූ 19වන පන්දුවාරයට ඒ මොහොතේ පිටියට පිවිසි දිනේෂ් කාර්තික් ලකුණු 22ක් රැස්කළේ ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කරමින්.

 

අවසන් පන්දුවාරයට ඉන්දිය ජයග්‍රහණයට ලකුණු 12ක් අවශ්‍ය වූ අතර පස්වන පන්දුවේදී කඩුල්ලක් දැවී යාමත් සමග ඉන්දීය ජයග්‍රහණයට අවසන් පන්දුවේදී ලකුණු 5ක් ලබා ගත යුතු වුණා. දිනේෂ් කාර්තික් ඉන්දියාවට ජය ගෙන ආවේ අවසන් පන්දුවේදීද 6යේ පහරක් එල්ල කරමින්. අවසන් පන්දුවේදී 6යේ පහරක් එල්ල කරමින් ශූරතාවක් දිනූ පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසටයි එය ඉතිහාසගත වුණේ.

අවසන් මොහොතේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ඉන්දියාවේ වොෂිංටන් සුන්දර් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. ඒ, ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක වීරයා සම්මානය දිනා ගත් ලාබාලතම ක්‍රීඩකයා බවට ඉතිහාසගත වෙමින්.

එම සම්මානය දිනා ගන්නා විට වොෂිංටන් සුන්දර්ගේ වයස අවුරුදු 18යි දින 164ක්.

සත්කාරකත්වය දැරූ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබුවද ඊයේ (18) තරග නැරඹීම සඳහා විශාල පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.

පැමිණි ශ්‍රී ලාංකිකයින් බහුතරයක් ඊයේ (18) තරගයේදී සහාය පළ කළේ ඉන්දීය කණ්ඩායමටයි. ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ද සුබ පැතුම් මධ්‍යයේ    ශ්‍රී ලංකාවේ 70 වන නිදහස වෙනුවෙන් සංවිධාන කළ නිදහසේ කුසලාන තරගාවලියේ ශූරතාව ඉන්දීය කණ්ඩායම තමන් සතු කර ගත්තා.

ඒ වසර 20කට පසු ශ්‍රී ලංකාවේ නිදහස් කුසලානයක් දිනා ගනිමින්. මීට පෙර ද ඉන්දියාව 1998 වසරේදී ශ්‍රී ලංකාවේ නිදහස් කුසලානයක් දිනා ගෙන තිබුණා.