Wednesday, April 24, 2024

General line - 0115112241

මූල්‍ය සහ ආර්ථික අපරාධ නඩු විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණයක්

අධිකරණ වාර්තාකරු




අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් කර ඇති සංශෝධන වලින් බලාපොරොත්තු වන්නේ සංකීර්ණ භාවයෙන් යුත්  මූල්‍ය සහ ආර්ථික අපරාධ වලට අදාල නඩු කඩිනමින් විභාග කොට අපරාධ යුක්තිය ඉෂ්ට කිරීම බව නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මේ බව දන්වා සිටියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතෙහි  වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පවසමින් මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා ඇතුළු පාර්ශවයන් ගොනු කළ විශේෂ පෙත්සම් හතක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විවාදයට ගන්නා ලද අවස්ථාවේදී.

මෙම පනත් කෙටුම්පතෙන් අලුතින් මහාධිකරන ස්ථාපිත නොකරන බවත් මහාධිකරන ශාලා ගණන වැඩි කොට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මූල්‍ය සහ ආර්ථික අපරාධ වලට අදාල නඩු කඩිනමින් විභාග කිරීම පමණක් සිදු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සදහන් කර සිටියේ.

මූල්‍ය සහ ආර්ථික අපරාධ මෙරට පාලන තන්ත්‍රයට මහත් තර්ජනයක් වී ඇති බවත් එම නිසා සංකීර්ණ භාවයෙන් යුත් මෙම නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම අත්‍යවශ්‍ය කාරනයක් බව ඔහු පවසා සිටියා.

අගවිනිසුරුවරයා විසින් පත් කරන අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාග කිරීම අලුත් දෙයක් නොවන බවත් මහාධිකරන විනිසුරුන්ට මේ සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබා දීම අපේක්ෂා කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැන්වුවා.

මහාධිකරන වල පරිපාලන කටයුතු භාර වන්නේ අධිකරන සේවා කොමිෂන් සභාව යටතට බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ.
 
මෙම පෙත්සම් වලට එරෙහිව මැදිහත් පාර්ශවයන් ලෙසට කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා අමාත්‍ය පාඨලි චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු 13 දෙනෙකු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අතර ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම හෙට (20)  දින සිදු කිරීමට නියමිතයි.