Tuesday, April 23, 2024

General line - 0115112241

එම්.එච්.370 යානය ගැන වසර 4කට පසු ලැබුණ හෝඩුවාවක් (PHOTOS)

වසන්ත පිවිතුරු - One India ඇසුරෙන්




2014 වසරේ දී අතුරුදන් වූ එම්.එච්.370 මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් වසර හතරකට පසු සොයා ගත් නව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

 

ඒ ගූගල් ඒර්ත් (Google Earth) ආශ්‍රයෙන් බවයි විදෙස් වාර්තා අනාවරණය කළේ.

 

ඕස්ට්‍රේලියානු ඉංජිනේරුවෙකු විසින් සිදුකළ පරික්ෂණයකින් මෙම නව තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

 

මලයාසියානු ගුවන් සමාගමට අයත් එම්.එච්.370 පසුගිය 2014 වසරේ දී ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේ සිට බීජීං නුවර බලා පියාසර කිරිමේ දී අතුරුදන් වුණේ එහි ගමන් ගත් මගින් 293 ක් සමගයි.

 

මලයාසියාව සහ චීනය එක්ව දින 1046ක කාලයක් අදාළ යානයේ සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක නිරත වුණා. එහි කිසිදු ප්‍රතිඵලයක් නොමැති නිසා පසුව එම මෙහෙයුම අතැර දැමීමට මලයාසියාව සහ චීනය තීරණය කළා.

 

විවිධ කණ්ඩායම් එක්ව ලොව වටා පරික්ෂණ පැවතුව ද ඉන් සාර්ථක ප්‍රතිඵල නොමැති වීමෙන් එම පරික්ෂණ කටයුතු අතැර දමා තිබුණා. ලොව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ දිගු කලක් තිස්සේ මුහුදු පත්ලේ සිදු කළ සෙවීමේ මෙහෙයුම ද මෙය වන බව සඳහන්.

 

කෙසේ වෙතත් යානය අතුරුදන් වී වසර හතරකට පසුව ඕස්ට්‍රේලියානු ඉංජිනේරුවරයෙකු වූ පීටර් මොහන් විසින් ගූගල් ඒර්ත් (Google Earth) ආශ්‍රයෙන් සිදුකළ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ ගුවන් යානය කඩා වැටී ඇති ස්ථානය තමා විසින් ගූගල් ඒර්ත් (Google Earth) ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බවයි.

 

ඔහුගේ නිගමනයට අනුව අතුරුදන් වූ එම්.එච්.370 මලයාසියානු ගුවන් යානය මුරිසි රාජ්‍යය සිට දකුණු දෙසට ගුවන් සැතපුම් 22.05 දුරින් පිහිටි රවුන්ඩ් දූපත ආශ්‍රිතව කිලෝ මීටර 16 ක් දුරින් වූ ගැඹුරු මුහුදට පතිත වී ඇති බව සඳහන් කර තිබෙනවා.

 

කෙසේ නමුත් අදාළ යානය සෙවීමේ මෙහෙයුමේ  දී රවුන්ඩ් දූපත ආශ්‍රිතව කිසිදු ‍සෙවීමක් සිදුකර නැහැ. එමෙන්ම අමෙරිකානු බලධාරින් යානය සෙවීමේ මෙහෙයුම සාර්ථකව සිදුකර නොමැති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

 

රවුන්ඩ් දූපත ආශ්‍රිතව සෙවීමේ මෙහෙයුම දියත් කිරිමට බලධාරින් අකමැති වූ බවද පීටර් මොහන් සඳහන් කළා. ඉන් අනතුරුවයි යානය සෙවීමේ කටයුතු ඕස්ට්‍රේලියාවට භාරදෙනු ලැබුවේ. එහිදී අදාළ යානය සෙවීමේ කටයුතුවල නිරත වු අමෙරිකානු මෙහෙයුම් කණ්ඩායම් හතරක නියෝජිතයන් එම්.එච්.370 මලයාසියානු ගුවන් යානය ‍සෙවීම සඳහා ඕස්ට්‍රේලියාවට සහාය වීමට පත් කර තිබුණා.

 

නමුත් එම නියෝජිතයන් විසින් නිවැරදි තොරතුරු ඕස්ට්‍රේලියාව වෙත ලබානොදුන් බවත් සත්‍යය වසන් කිරිමට කටයුතු කර ඇති බවත් ඕස්ට්‍රේලියානු ඉංජිනේරුවරයෙකු වූ පීටර් මොහන් අනාවරණය කළා.

ඕස්ට්‍රේලියාවේ පල වන ඩෙයිලි ස්ටාර් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී පීටර් මොහාන් මෙම කරුණු අනාවරණය කර තිබෙනවා. අතුරුදන් වූ එම්.එච්.370 යානයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවටත් සාධක හමුවී ඇති බවයි මෙහිදී පීටර් මොහන් සදහන් කළේ.

 

එම කරුණු අනාවරණය කිරිමෙන් වෙනත් ප්‍රශ්න ඇති වනු ඇතැයි සිතා මෙම කරුණු අමෙරිකාව විසින් වසං කරන්නට ඇති බවයි පීටර් චෝදනා නඟන්නේ. එම්.එච්.370 යානය සම්බන්ධයෙන් තමා විසින් සොයාගත් සියළු කරුණු ඕස්ට්‍රේලියානු ප්‍රවාහන බලධාරින් වෙත පීටර් මොහාන් ලබාදී තිබෙනවා.

 

ඔහුගේ සොයා ගැනීමට අනුව ගුවන් යානය පියාසර කිරිම ආරම්භ කර පැය 6කට පසු ඉන්දිය සාගරයට කඩා වැටී ඇති බව සඳහන්. පීටර් මොහාන් යනු අතුරුදන් වූ ගුවන් යානා සෙවීමේ කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන අත්දැකීම් බහුල ඉංජිනේරුවෙක් වනවා.