Saturday, April 20, 2024

General line - 0115112241

ගණිතය ප්‍රශ්න පත්‍රය පිට කළා දැයි සැක (PHOTOS)




ශ්‍රේණි කිහිපයක පාසල් සිසුන්ට දෙවන වාර විභාගයේදී ලබාදී ඇති ගණිතය ප‍්‍රශ්න පත‍්‍රවලට සමාන ලෙස සැකසූ ප‍්‍රශ්න පත‍්‍ර සිසුන් සමග සාකච්ඡා කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර සඳහන් කළේ ඔහු  වයඹ පළාතේ උපකාරක පංති පවත්වන රජයේ පාසලක ගුරුවරයෙකු බවයි. වයඹ පළාත් සභාවේ පාසල්වල 6, 7, 8 සහ 9 යන ශ්‍රේණිවලට අදාළ ගණිතය විෂය සඳහා වන විභාගය පැවැත්වුණේ ඉකුත් 14 වනදායි. නමුත් අදාළ උපකාරක පංති පවත්වන ගුරුවරයා ඉකුත් 9 වනදා එම ප‍්‍රශ්න පත‍්‍රයට සමාන ප‍්‍රශ්න පත‍්‍රයක් සිසුන්ට බෙදාදී සාකච්ඡා කර තිබෙනවා.

10 සහ 11 යන ශ්‍රේණි සඳහා ගණිතය විභාගය පැවැත්වුණේ ඉකුත් 13 වනදායි. අදාළ ගුරුවරයා 10 වන ඉරිදා දිනයේදී එම ප‍්‍රශ්න පත‍්‍රයට සමාන ප‍්‍රශ්න පත‍්‍රයක් තම උපකාරක පංතියේ සිසුන්ට බෙදාදී සාකච්ඡා කර තිබෙනවා.

11 වන ශ්‍රේණිය සඳහා ඔහු එලෙස ප‍්‍රශ්න පත‍්‍රයක් සකස් කර නැහැ. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් සිසුන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. අතින් ලියා පිටපත් කරන ලද ප‍්‍රශ්න පත‍්‍ර මෙලෙස සිසුන් වෙත බෙදාදී තිබෙනවා. ඒවායෙහි ඇතුළත් ඇතැම් ප‍්‍රශ්න වයඹ පළාත් සභාව විසින් දෙවන වාර විභාගය සඳහා ලබාදුන් ප‍්‍රශ්න පත‍්‍රවල ඒ ආකාරයෙන්ම දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ප‍්‍රශ්න කිහිපක් සුළු වෙනස්කම් සිදුකර අනුමාන ලෙස සකස් කර තිබෙනවා. රහස්‍ය භාවය උපරිම ලෙස පවත්වාගෙන යමින් සකස් කරන ලද ප‍්‍රශ්න පත‍්‍රවල තොරතුරු මේ ආකාරයට පිටවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවත් පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්‍ෂ කියාසිිටියා.

01 02 03