Wednesday, April 24, 2024

General line - 0115112241

මහනුවර සිදුවීම ගැන අප අවධානයෙන් - මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට මැවිසිලි

දිනුක් හේවාවිතාරණ




යුක්තිය සම්බන්ධයෙන් යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති මන්දාගාමී ප්‍රගතිය කනගාටුදායක වන බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝර් ප්‍රකාශ කළා. 

මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හා අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී කියා සිටියා.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද ලිඛිත වාර්තාව සභාවට ඉදිරිපත් කරමිනුයි  නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එම කරුණු සදහන් කර සිටියේ. 

“අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සාමාජිකයන් පත් කිරීමට පනත සම්මත වී මාස 20කට ආසන්න කාලයක් ගත වුණා. එය ඉතා කණගාටුදායක  කරුණක්. එයට අමතරව හමුදාව යටතේ තිබූ ඉඩම් නැවත ලබාදීමේදී ද ශ්‍රී ලංකා රජය පෙන්වා තිබෙන්නේ මන්දගාමී ප්‍රගතියක්. මෙම ඉඩම් නැවත ලබාදීමට නොහැකි වුවහොත් විශ්වාසය ගොඩනගන්න අමාරුයි. ආරක්ෂක හේතුන් මත හමුදාව යටතේ තිබෙන ඉඩම්වලට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතු බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සදහන් කර සිටියා.

පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් ඇතිවු කලහකාරී තත්වය සහ පැවැති හදිසි නීතිය සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සුළු ආගමික හා සුළු ජන කොටස් ඉලක්ක කරගනිමින් කෙරෙන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙන බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී සදහන් කර සිටියා.