Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැන වාර්තාව ජගත් මානව හිමිකම් කොමිසමට

හේමන්ත කහවලගේ /තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ලිඛිත වාර්තාවක් ඊයේ (21) ඉදිරිපත් කළා. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37වන සැසිවාරය සඳහායි. 

2017 මාර්තු 23 වන දින අංක 34/01 දරන යෝජනා සම්මතයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි පරිදී 2015 ඔක්තෝම්බර් 15 වනදා අංක 30/01 දරන යෝජනා සම්මතය ක්‍රියාත්මක කීරීම පිළිබඳවයි මහකොමසාරීස්වරයා මෙම යාවත්කාලීන ලිඛිත වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත්තේ.

මෙම වාර්තාවට උත්තර බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජිනීවා නගරයේදී එළි දැක්වීමටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා නුවරට ගොස් සිටින අමාත්‍යවරුන් කටයුතු යොදා තිබුණා.

එහි සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහකොමසාරිස්වරයාගේ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ සහජීවනය ඇති කිරීමටත්, නීතියේ ආධිපත්‍ය තහවුරු කීරීමටත්, මාධ්‍ය නිදහස තහවුරු කිරීමටත් කටයුතු කර ඇති බවයි. 

2015 වසරේ සිට ශ්‍රී ලංකාව ඉතා ප්‍රගතිශීලි ගමනක් පැමිණ ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා. 

මේ අතර යුක්තිය සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති මන්දගාමී ප්‍රගතිය කණගාටුදායක බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. 

එහි නියෝජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝර් පවසන්නේ මහනුවර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හා පැවති හදිසි නීතිය පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඇති බවයි. කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හා අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම පිළිබඳ ඇය ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර තිබෙනවා.
 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන පවසා ඇත්තේ ස්ථාන කිහිපයක මෑත කාලයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් කණගාටු වන බවයි. පාර්ශව කිහිපයක් එම ක්‍රියා සිදු කළේ මෙම කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට හානි කිරීමේ අරමුණින් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.