Tuesday, April 23, 2024

General line - 0115112241

තේවලට සීනි කලවම් කිරීමේ මහාපරිමාණ ජාවාරමක හෙළිවේ

මේනකා රත්නායක




තේවලට සීනි කලවම් කිරීමේ මහාපරිමාණ ජාවාරමක් තොරතුරු අණාවරණ වී තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ දිවයින පුරා ක්‍රියාත්මක තේ කර්මාන්ත ශාලා 80කට ආසන්න සංඛ්‍යාවක මෙම කටයුත්ත සිදුවන බවයි. 

ඒවා අතරින් 53ක් පිළිබඳ තහවුරු කළ වාර්තා ලබා ගැනීමට එම විමර්ශනයේ දී හැකි වී තිබෙනවා. 

තේවලට සිනී කලවම් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ තේ පැකැට්ටුවේ බර වැඩිකර ගැනීමයි. එහෙත් එමගින් දීර්ඝ කාලීනව මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හානි වන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ. 

මෙලෙස තේවලට කලවම් වී ඇති සීනිවල අඩංගු තෙත සහිත ස්භාවය හේතුවෙන් කල්යාමේදී එහි දිලීර හට ගැනීමේ අවදානමක් පවතිනවා. එසේ වුවහොත් ඒවා අපනයනයේදී ගැටළු මතු වීමේ ඉඩක් ඇති බවයි තේ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගෙන් විමසීමක් කළා.  අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කර්මාන්ත ශාලා 53ක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් සමග ඉදිරියේ දී  සාකච්ඡා කර දැඩි ලෙස අවවාද කරන බවයි. එය නොතකා ඔවුන් ඉදිරියටත් කටයුතු කරන්නේ නම් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


ශ්‍රී ලංකාවේ සිට යවනු ලැබූ තේ බහාලූමක සිටි බව කියන කුරුමිණියෙකු හේතුවෙන් මෙරට තේ, තාවකාලිකව තහනම් කිරීමට පවා රුසියාව ඉකුත්දා පියවර ගත්තා.